Thursday, September 16, 2021

ආතතිය (Stress)




☠බොහෝ දෙනා වැඩි සැලකිල්ලක් නොදක්වන කාරණයක් තමයි අද කතා කරන්න යන්නේ සමහර වෙලාවට අපේ මසුන් හදිසියේ මරණයට පත්වුණාම ඒකට හේතුව අපිට හිතාගන්න බැරි වෙනවා සමහරු කියනවා හැමදේම හොඳින් තිබුන එක පාරට මාළුවා මැරුණා කියලා මෙන්න මේ වගේ හදිසි මරණ වලට එක හේතුවක් තමයි ආතතිය. දීර්ඝ කාලීනව පවතින ආතතිය සහ ක්ෂණික ව ඇතිවන ආතතිය නිසා මසුන් මේ විදියට මිය යන්න පුළුවන්. නවතම පරීක්ෂණවලින් ඔප්පු වෙලා තියෙනවා ආතතියට පත්වූ දෙමව්පියන්ගෙන් උපදින පැටවුන් පරම්පරා තුනක් පමණ යන තුරු ඔවුන් ආතතියෙන් ජීවත් වන බවත් ඔවුන්ගේ ආයු අපේක්ෂාව ඉතා අඩු බවත්.


✍ඇත්තටම ආතතිය හැදෙනවා කියන්නේ මොකද එතකොට මොකද මාළුවාට වෙන්නේ. තේරෙන භාෂාවෙන්ම කෙටියෙන් කියන්නම්


මෙමගින් මාළුවාගේ අභ්‍යන්තර සහ බාහිර වෙනස්වීම් රැසක් සිදු වෙනවා මෙම ආතතිය නිසා ශරීර අභ්‍යන්තරයෙහි හෝමෝන අසමතුලිතතාව හටගන්නවා එමගින් සිදුවන රසායනික වෙනස් වීම නිසා තමයි මසුන් මරණයට පත් වන්නේ. එය ක්ෂණිකව සිදුවන්න පුළුවන් එසේ නොමැති නම් එමගින් ඇතිවන ප්‍රතිශක්තිය හීන වී යාම නිසා ලෙඩ රෝග වලට ගොදුරු වී මිය යෑමට පුළුවන්.


උදා- මාලුවෙකු ජල ඉන් ඉවතට ගන්න එවිට මොකද සිදුවෙන්නේ එවිට මාළුවාගේ ආතතිය ඉහළ නගිනවා. එවිට ඇඩ්‍රිනලින් සහ නොරඩ්‍රිනලින් අධික ලෙස ශ්‍රාවය වෙන්න පටන් ගන්නවා මේ සමඟම කෙටි කාලයක් තුළදී කෝටිසෝල් මට්ටමත් ඉහළ නගිනවා. මෙම හෝමෝන අධික ලෙස ස්‍රාවය වීම තුළින් මසුන් අනිවාර්යෙන්ම මියයෑමට ලක්වෙනවා. ආතතියට පත් විය හැකි අවස්ථා පහත සඳහන් ලෙස පෙළ ගස්වන්න පුළුවන් 


☹️වතුර ගුණාත්මක බව අඩුවීම.


අදටත් ලංකාවේ මේ විනෝදාංශය යෙදිල ඉන්න බහුතරයක් මිනිස්සු මසුන් මිලදී ගන්න කොතරම් මුදලක් වැය කරත් ෆිල්ටරය එක තියෙන වැදගත්කම තේරුම් අරගෙන නැහැ කියලයි පෙනෙන්නට තියෙන්නේ. කොටින්ම කිව්වොත් ෆිල්ටරය කියන්නේ ටැංකියේ හදවත හදවත නැතුව අපට ජීවත් වෙන්න බැහැ වගේ තමයි හොඳ filter system එකක් තිබුණෙ නැත්තං කවදාවත් මාළුවෙක් ඇති කරන්නත් බැහැ. මේ සඳහා එදිනෙදා සතිපතා කලයුතු පිරිසුදු කිරීම අනිවාර්යයෙන් කරන්න ඕන. Ammonia, nitrate nitrite, phosphate සහ විවිධාකාර වූ විෂ ද්‍රව්‍ය ගෙවෙන හැම තත්පරේ කදීම ටැංකියේ වතුර ට එකතු වෙනවා. එම නිසා පිරිසිදු කිරීම් නඩත්තු කිරීම් ක්‍රමවත්ව කළේ නැත්නම් අනිවාර්යෙන්ම මාළු විවිධ ආකාරයෙන් ආතතියට පත් වෙලා මිය යෑම සිදු වෙන්න පුළුවන්. එය වතුරේ ගුණාත්මක භාවය නැති වීමෙන් කෝ එම නිසා ඇතිවන බැක්ටීරියා පරපෝෂිත ආසාදන වලින් ඇතිවන ලෙඩ රෝග නිසා ආතතියට පත් වී මරණයට පත් වීමටත් පුළුවන්


☹️අවශ්‍ය තරම් ඔක්සිජන් නොමැති වීම


ඇතැම් මසුන් වර්ග වලට ඉතා හොඳ ඔක්සිජන් සැපයුමක් අවශ්‍යයි. ඔබ ඇතැම් විට දැකලා ඇති සමහර මසුන් ජලයේ ඉහළම ස්ථරයට පැමිණ වාතය ගැනීමට උත්සාහ කරන ආකාරය. අවශ්‍ය ප්‍රමාණයට ඔක්සිජන් සැපයුමක් නොලැබුනු විට මාලුවා ආතතියට පත් වෙනවා ඒ වගේම කරමල් දුර්වල වෙනවා සම්පූර්ණ වර්ධනයක් සහ උපරිම ආයු කාලයක් නොලැබී යෑමටත් හොඳ ඔක්සිජන් සැපයුමක් නොමැති වීම හේතු වෙන්න පුළුවන්. ඔක්සිජන් සැපයුමක් ලබා දෙනවා නම් එය ජලයේ ඉක්මනින් දිය වී යන ආකාරයට ලබාදෙන්නත් බලාගන්න ඕන.


☹️නොගැලපෙන උපාංග භාවිතා කිරීම


සමහරු හීටරයක් භාවිතා කිරීමේ හේතුව හරියටම දන්නේ නැහැ හීටරයක් මගින් වතුර උණුසුම් වෙනකොට ජලයේ තියෙන ඔක්සිජන් ප්‍රමාණය අඩු වෙනවා. එම නිසා අවශ්‍යතාවය අනුව පමණක් හීටරයක් භාවිතා කරන්න.

සමහර වෙලාවට ටැංකියේ ප්‍රමාණය වත් හිතන්නේ නැතුව භාවිතා කරන corner filter වල ඔක්සිජන් සැපයුම වේගවත් බව නිසා මසුන් නිරන්තරයෙන් වේගයෙන් ඉවතට ඇදී යනවා මසුන්ට නිරන්තරයෙන් පිහිනමින් ඔවුන් විශාල ආතතියකට පත්වනවා ඔබ සමහරවිට දැකලා ඇති. සමහර සැරසිලි සඳහා යොදා ගන්නා දේවල් නිසාත් මින් මැදුර තුළ හෝ පිටත භාවිතා කරන විවිධ උපාංග නිසා ඇතිවන ශබ්දය හා කම්පනය නිසාත් මසුන් විශාල ලෙස ආතතියට පත් වෙනවා.


☹️සැඟවී සිටීමට අවශ්‍ය පහසුකම් නොමැති වීම


ඇතැම් මසුන් වර්ග සැඟවී සිටීමට ප්‍රියකරන මා වෙන්න පුළුවන්. එවැනි සතුන් සඳහා ජලජ ශාක ලී කොට අඳුරු පසුබිම සහිතව මින් මැදුර සැකසීමෙන් ඔවුන් බොහෝ දුරට ආතතියෙන් ඉවත් කරගන්න පුළුවන්.


☹️අවශ්‍ය තරම් පෝෂණයක් නොලැබීම


අවශ්‍ය තාම පෝෂණයක් නොලැබීම නිසා මසුන් ගේ සෞඛ්‍යය පිරිහීම සහ විවිධ ලෙඩ රෝගවලට ඉතා පහසුවෙන් ගොදුරු වීම අනිවාර්යෙන්ම සිදුවෙනවා මෙමගින් මසුන් දැඩි ආතතියකට පත් වෙනවා තවත් සමහර මසුන් ටැංකියේ සිටින අනිත් මසුන්ට පහර දෙන්න උත්සාහ කරන අවස්ථා පිළිබඳ  අත්දැකීම් ඔබටත් ඇති. අවශ්‍ය ප්‍රමාණයට ආහාර දීම සහ ඉතා ඉහල පෝෂණයක් ලබා දීම මගින් ඉහත කරුණු සියල්ල නිසා සිදුවන ආතතිය වළක්වා ගැනීමට හේතුවක් වේවි


☹️ඉඩකඩ සීමා සහිත වීම


මා අසා ඇති ලොකුම විහිළුව නම් "දැන් පොඩි ටැංකියක හිටියට ලොකු වෙනකොට මම ලොකු ටැංකියක් හදනවා හොඳ ෆිල්ටරයක් පස්සේ හදනවා, filter media ටික ටික ගෙනල්ලා දානවා" බොහොම කලාතුරකින්  තමයිි upgrade කරන එක සිද්ධ්ධ වෙන්නේ්. 

කලින් කිව්වා වගේ මාළුවෙක් ඇති කරන්න කලින් ඒ මාළුවා ගැන විශේෂ අධ්‍යයනයක්  කළ යුතුමයි. එහෙම නැත්නම් ඉතා විශාල වන මසුන් කුඩා ටැංකිවල හිර කරල තැබීමෙන් ඔවුන් විශාල ලෙස ආතතියට පත් වෙලා අනිවාර්යෙන්ම මරණයට පත්වීම සිදු වෙන්න පුළුවන්. ඒ වගේම වර්ධනය කෙටි කාලීනව හෝ සදාකාලික ලෙස බාධා පැමිණිය හැකිය. කුඩා ටැංකියක ජීවත්වීමේදී බොහෝ කාරණා නිසා මසුන් පහත දක්වා ඇති ආකාරයට පීඩාවට පත් වෙන්න පුළුවන්


1.ප්‍රමාණවත් ඔක්සිජන් නොමැති වීම,

2.ඉතා ඉක්මනින් ජලය දූෂණය වීම,

3.ගුණාත්මක ජලය නොමැති වීමෙන් විවිධ ලෙඩ රෝගවලට ගොදුරු වීම,

4.ඉඩකඩ සීමා වීම නිසා ව්‍යායාම නොමැති වීම

5.මාළුවාගේ වර්ධනය ඉතා පහළ මට්ටමකට වැටීම හෝ විකෘති වීම

6.ආයු අපේක්ෂාව අඩුවීම

වැනි බොහෝ කරුණු මෙයට ඇතුළත් කරන්න පුළුවන්. විශේෂයෙන්ම මාලුවා වර්ධනය විශාල ලෙස සිදුවන කාලයේදී තමයි බොහෝ දෙනා ඔවුන් ඉතා කුඩා ඉඩ ප්‍රමාණයක තබා ගන්න උත්සාහ කරන්නේ මෙමගින් මාලුවා ආතතියට ලක්වී මරණයට පත් වීමට පුළුවන්.


☹️ටැංකියේ ඉඩකඩට නොගැලපෙන ලෙස මසුන් විශාල ප්‍රමාණයක් ඇති කිරීම


මෙය බොහෝ දෙනා කරන ලොකු වැරැද්දක්. ලෝකේ ජීවත් වෙන කිසිම සතෙක් කැමති නැහැ තමන්ගේ නිදහස සීමා වෙනවට.විශාල ලෙස මසුන් එකතු කිරීම තුළින් ජලය ඉක්මනින් දූෂණය වීම ඔක්සිජන් ධාරිතාව අඩු වීම ලෙඩ රෝග ඉක්මනින් පැතිර යාම,ආහාර සඳහා අනවශ්‍ය තරගයක් ඇතිවීම එකිනෙකා සටන් කිරීමට පෙළඹීම ,මසුන් ටැංකියෙන් ඉවතට පැනීමට තැත් කිරීම වැනි බොහෝ කාරණා හේතුවෙනවා. මෙමගින් විශාල ලෙස ආතතියට පත්වන මාලු මිය යාම කිසිසේත් නවත්වන්න බැහැ.ඒ වගේම සමහර මාළු වර්ගයක් ඉතාම වේගයෙන් ටැංකියේ පිහිනීම නිසා ඇතැම් මසුන් වර්ග ආතතියට පත් වන්න පුළුවන්.


☹️ආක්‍රමණශීලී හැසිරීම


මසුන් එකතු කිරීමේ දී මේ ගැන අපි විශේෂ සැලකිල්ලක් දක්වන්න ඕන. කිසිම අධ්‍යනයක් කරන්නැතුව හිතුමතේ ඉතා ආක්‍රමණශීලී මසුන් වර්ග සමග කොමියුනිටි කරන්න ගිහිල්ලා දහස් ගණන් මුදල් නාස්ති කරගන්නවා අපි දැකලා තියෙනවා. එවැනි ආක්‍රමණශීලී මසුන් ටැංකිය සිටින කොට අනිත් සතුන්ට ජීවත්වෙන්න සිදු වන්නේ මරණ බියෙන්. මෙමගින් බොහෝ රසායනික වෙනස්වීම් ශරීරය තුළ සිදු වෙනවා. මෙමගින් ආතතියට පත්වන මාලුවා සටන් කිරීමකින් තොරව හෝ පහර කෑම කින් තොරව වුණත් ජීවිතක්ෂයට පත් වෙන්න පුළුවන්


☹️ Acclimation හරියාකාරව නොකිරීම


මෙය ක්ෂණික ආතතිය ඇති වී ක්ෂණික මරණය සිදුවීමට Acclimation  විවිධාකාරයෙන් සිදු කරන්න පුළුවන්. ප්‍රධාන වශයෙන් අලුතින් ටැංකියට මසුන් හඳුන්වාදීමේදී ජලයේ උෂ්ණත්වයට හුරු කිරීම මෙයින් සිදු වෙනවා. ක්ෂණිකව ජලයේ උෂ්ණත්ව පරාසය හුරුවෙන්න පුලුවන් මසුන් වර්ග සුළු ප්‍රමාණයක් සිටියත් බොහෝ මසුන්ට එම ක්ෂණික වෙනස්වීම් දරාගත නොහැකිව ආතතියට පත් වෙනවා. ඔය ගැන ඔබ තරයේ මතක තබා ගත යුතු කාරණයක්.


☹️වතුරේ උෂ්ණත්වය ඉහළ පහළ යෑම


මේ සඳහා ඔබට හීටරයක් හෝ චිලර් එකක් භාවිතා කරන්න පුළුවන්. ලංකාව වැනි සමක ආසන්න රටවල ජීවත්වෙන අපිට ඒ තරම් ලොකු උෂ්ණත්ව වෙනස් වීම් වලට ක්ෂණිකව මුහුණදෙන්න වෙන අවස්ථා ඉතා විරලයි. මෝසම් වර්ෂා කාලවලදී සීතල කාලගුණයක් පවතින විට ඔබගේ ටැංකියේ සිටින මසුන් සඳහා හීටරයක් භාවිතා කිරීම සමහර විට සමහර මසුන්ට අවශ්‍ය වෙන්න පුළුවන්.


☹️නොගැලපෙන මසුන් එකතු කිරීම


බොහෝ දෙනෙක් කරන වැරැද්දක් තමයි මේක මාලුවා ගෙදර ගෙනාවට පස්සේ තමයි විස්තර හොයන්න පටන් ගන්නෙ. මාළුවෙක් ටැංකියට එකතු කරන්න කලින් බලන්න ඕන  මාළුවාට අවශ්‍ය කරන පහසුකම් තමන් ළඟ තියෙනවද කියලා. අඩුම තරමේ ටැංකියේ pH අගයට ගැලපෙන මසුන් වර්ග පමණක් ඒක ටැංකියේ හදන්න ඕන. විවිධ pH අගයන් වල ජීවත් වෙන මසුන් එකම ටැංකියේ ඇති කරන්න ගියාම මාලුවා විශාල ආතතියකට පත්වෙලා මියයන්න වුණත් පුළුවන්

එමනිසා වතුරේ තියන පරාමිතීන් ගැන හොඳ අවධානයක් යොමු කරලා මසුන් ඇති කරන්න තෝර ගන්නවා නම් වටිනවා. අඩු උෂ්ණත්වයක ජීවත් වන මසුන් සහ ඊට වඩා ඉහළ උෂ්ණත්වය ජීවත් වන මසුන් සඳහා අවශ්‍ය ජලයේ උෂ්ණත්වය වෙන වෙනම සැකසිය යුතුයි එසේ නොමැතිව එකම ටැංකියේ ඇති කරන්න ගියොත් ඒකෙන් වෙන්නේ ලොකු හානියක්


☹️අනවශ්‍ය ආලෝකකරණය


විවිධ මසුන් වර්ග සඳහා විවිධ ආකාරයේ වර්ණ සහිත බල්බ යොදා ගන්නවා අපිට දකින්න පුළුවන්. ඉතා දීප්තිමත් ආලෝක සහිත බල්බ යොදා ගැනීමෙන් මසුන් ඉතා ඉක්මනින් ආතතියට පත් වෙනවා. ඒ වගේම දවසේ  කොපමණ කාලයක් ආලෝකය ලබා දිය යුතුද යන්න ගැන ඔබ අවබෝධයක් ලබාගත යුතුයි. මෙමගින් ජලයේ උෂ්ණත්වය පවා වැඩි වීමට හේතුවක් වෙන්න පුළුවන්. හිතා විශාල ආලෝක කරණයක් යොදා ගැනීමෙන් විවිධ ආකාරයේ ආතති තත්වයන් ට මසුන්ට මුහුණදීමට සිදුවෙන බැවින් එය හිතකර ලෙස සැකසීම ඉතා වැදගත්.


☹️අවශ්‍ය පරිසරය නිර්මාණය කිරීමෙන් තොරව මසුන් එකතු කිරීම


ඉහත සදහන් කරා වගේ ඔබ තෝරාගත් මසුන් වර්ග සඳහා අවශ්‍ය කරන ලෙස මින් මැදුරට අවශ්‍ය සියලුම දෑ සකස් කිරීමෙන් අනතුරුව මසුන් රැගෙන ඒම ඉතා වැදගත් කාරණයක්. එසේ නොමැතිව විටින් විට වෙනස්කම් සිදු කිරීමට යාමෙන් ආතතියෙන් යුක්තව රැගෙන ආ මාළුවා තව තවත් ආතතියට පත්වීම නිසා මරණයට පත් වීමට පවා පුළුවන්.


 ☹️ මසුන්ට වැරදි ඖෂධ ලබාදීම හෝ මාත්‍රාව නිවැරදිව ලබා නොදීම


මෙය ඕනෑම කෙනෙකුට තේරෙන කාරණයක් එම නිසා මේ ගැන තවදුරටත් කතා කිරීම තේරුමක් නැහැ. තමන්ට හරි කියා හිතන දේ නොව හරියටම හරි දේ අවශ්‍ය මොහොතේදී ලබාදීමට කටයුතු කර මේ වගේ අවස්ථා මගහැර ගන්න පුළුවන් වේවි. ඒ වගේම ඖෂධ ලබා දුන් මසුන්ට ආතතිය අඩුවන ලෙස පරිසරය සකස් කර දීම අනිවාර්යයෙන් කරන්න ඕන. නැවත නැවත වෙනත් ටැංකිවලට මාරු කිරීම මාලුවා හොඳින් සිටිදැයි නැවත නැවත අතින් අල්ලා බැලීම ආලෝකය දිගින් දිගටම ලබාදීම එවැනි බොහෝ කාරණා වලින් ඈත්වී සිටීම ආතතිය වළක්වා ගැනීමට මෙන්ම රෝගය ඉක්මනින් සුව කර ගැනීමටත් හේතුවක් වේවි.


මේ ලියලා තියෙන ලිපියට අමතරව බොහෝ කරුණු පිළිබඳ සමූහයේ සිටින අය දැනුවත් වී සිටින්නට පුළුවන්.ඔයාලගේ පලපුරුද්දෙන්  ලැබුන දේවල් සමූහය සමග කොමෙන්ට් සෙක්ෂන් එකේ බෙදා ගන්නා ලෙස ආදරයෙන් ඉල්ලා සිටිනවා!!!

No comments:

Post a Comment

Polypterus ආධුනිකයන් සඳහා

  ආධුනිකයන් සඳහා 👇 ඇයි මිනිසුන් විසින් අභිජනනය කරන ලද ඇතැම් polypterus මාළුන්ගේ වර්ගය හරියටම අදුරගන්න බැරි වෙලා තියෙන්නෙ.  1. සමහර මාළුන්ගෙ...