Monday, March 14, 2022

Polypterus ආධුනිකයන් සඳහා

 



ආධුනිකයන් සඳහා 👇


ඇයි මිනිසුන් විසින් අභිජනනය කරන ලද ඇතැම් polypterus මාළුන්ගේ වර්ගය හරියටම අදුරගන්න බැරි වෙලා තියෙන්නෙ. 


1. සමහර මාළුන්ගෙ වයිරම් රටා අක්‍රමවත්ව පිහිටල තියෙන නිසා අපිට හරියටම වර්ගය කුමක්ද කියන අදුරගන්න බැරි අවස්ථා තියෙනවා


 2.සමහර මසුන් ගේ මෙම වයිරම් රටා සහ වර්ණ අඩුවෙන් තිබීම නිසාත් අපිට වර්ගය කුමක්ද කියල අඳුරගන්න බැරි අවස්ථාව තියෙනවා


3.සමහර මාළු විකුණනකොට කියන වර්ගය නෙමෙයි ලොකු වෙනකොට ඉතිරි වෙන්නේ. මාළු විකුණන කෙනාට ඇඟිල්ල දික් කරන එක තේරුමක් නැහැ


4. Hybrid කරනයට ලක්වීම නිසා මසුන් වර්ග කිහිපයක ලක්ෂණ පිහිටීම නිසාත් හරියාකාරව හඳුනා ගැනීමට නොහැකියාවක් ඇතිවෙන්න පුළුවන්.සමහරු තමන් ළඟ සිටින මසුන් කුමන වර්ගයකට අයත් දැයි ඇසූවිට දේශීය විදේශීය ප්‍රවීණයන්ට පවා පිළිතුරු නැතිව යන අවස්ථා ඕන තරම් දකින්න පුළුවන්.


👉. මහාපරිමාණයෙන් බොහෝ මත්ස්‍ය වර්ග අභිජනනය කිරීමට ප්‍රසිද්ධ රටක් තමයි ඉන්දුනීසියාව. ඔවුන් විවිධ අත්හදා බැලීම් කරමින් මහා පරිමාණයෙන් මුදල් හම්බ කිරීමේ වෑයමක නිරත වෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස හෝමෝන යොදාගෙන මහා පරිමාණයෙන් බෝ කිරීම නිසා විවිධ වූ අඩු පාඩු සහිතව හෝ විකෘති මසුන් වෙළඳ පොලට එනව. සමහර වෙලාවට මේ අඩුපාඩු සහිත මාළුන්ට විශේෂ මිලක් හෝ අධික මිලක් නියම වෙනවා උදා- short body,semi short body, albino, Long feather fins 


ස්වභාවික පරිසරයෙන් අල්ලා ගන්නා ලද මසුන් ට ජාත්‍යන්තරයේ දී WC (wild caught) එසේත් නොමැති නම් F0 යනුවෙන් හඳුන්වනවා. F0 ලෙස හඳුන්වන්නේත් කෙලින්ම ස්වභාවික පරිසරයෙන් අල්ලාගත් මසුන් සඳහා ම තමයි.


මෙසේ අල්ලාගත් F0 මසුන් F0 මසුන් සමග අභිජනනය කිරීමෙන් පසු ලැබෙන පැටවුන් WF1 ලෙස හඳුන්වනවා (F0×F0 -WF1)


WF1එකිනෙකා අභිජනනය කිරීමෙන් ලැබෙන මට පැටවුන් WF2 ලෙස හඳුන්වනවා WF1×WF1 -WF2


WF2 මසුන් එකිනෙකා අභිජනනය කිරීමෙන් ලැබෙන පැටවුන් WF3 ලෙස හඳුන්වනවා (WF2×WF2 -WF3)


මේ විදිහට පරම්පරා කීපයක් ඉදිරියට යන විට ඔවුන්ගේ පෙනුම ,හැසිරීම වෙනස් වෙනවා ඒ වගේම ඔවුන්ගේ ශක්තිමත් භාවය, ලෙඩ රෝග වලට ඔරොත්තු  දීමේ හැකියාව, ආයු කාලය අඩු වෙනවා.කොටින්ම කිව්වොත් සෞඛ්‍ය තත්ත්වය පිරිහී යනවා. මෙහෙම වෙන්නේ ඔවුන්ට ස්වභාවික පරිසරයේ දී වගේ ලැබිය යුතු ආහාර සහ අනෙකුත් පාරිසරික සාධක නොලැබී යාම. 


පරීක්ෂණවලින් ඔප්පු වෙලා තියෙනවා බොහෝ කාලයක් මින් මැදුරක් තුළ ජීවත් වන WF0 මසුන් පවා මේ වෙනස්කම්වලට භාජනය වෙන බව ඇතැම් මසුන්ගෙ බාහිර  ස්වරූපය පවා මේ විදිහට වෙනස් වෙන බව පැවසෙනවා. කෙසේ වෙතත් CB (Captive breed) ඇති කරන්න බලාපොරොත්තු වෙන කෙනෙකුට දෙන්න පුළුවන් උපදෙසක් තමයි පුළුවන් තරම් F0 මසුන්ට සමානකම් දක්වන WF1 සතුන් මිලදී ගැනීම. එමගින් පෙර සදහන් කරපු බොහෝ දේවල් අවම කර ගන්න පුළුවන්. අඩුම තරමේ අඟල් හතක් පමණ විශාල වූ පසු මත්ස්‍යයාගේ අඩුපාඩු හොඳින් බලා මිලදී ගන්න පුළුවන්, ඔබ හයිබ්‍රිඩ් මසුන් ඇති කරන්න ප්‍රිය කරන කෙනෙක් නම් එම මසුන් අභිජනනය කිරීමට යොදාගත් මවු සතුන් මොනවා දැයි යන්න පිළිබඳ හොඳ අවබෝධයක් ලබාගත යුතු බව. අන්තර්ජාලය හරහා හෝ මසුන් පිළිබඳ දැනුමක් ඇති අයකුගෙන් විස්තර අසා දැනගෙන හෝ F0 මසුන්ගේ ඡායාරූප සමග ඔබ මිලදී ගන්නා මත්ස්‍යයා සංසන්දනය කිරීමෙන් පසු මිලදී ගැනීම වගේ ක්‍රම ආධුනිකයන්ට යොදාගන්න පුළුවන්. නමුත් මේ ලිපිය කියවීමෙන් පසු තමන් ළඟ ඉන්න මසුන්ගේ අඩුපාඩු තිබෙනවා කියලා දැනුනොත් කලබලේ විකුණන්න හදන්න එපා. මොකද මාලුවෙකුටම  ආවේණිකවූ ලස්සනක් තියෙනවා.😊

Sunday, March 13, 2022

Polypterus මාළුව ගේ ටැංකිය setup කරන්නෙ කොහොමද????

 Polypterus මාළුව ගේ ටැංකිය setup කරන්නෙ කොහොමද කියල සාමාන්‍ය අවබෝධයක් ලබා ගමු


❤සැ.යු - මෙම ලිපිය වැදගත් වන්නේ polypterus මාළු විශේෂය සඳහාම වෙන්වූ ටැංකියක් නිර්මාණය කිරිම සඳහා හෝ ටැංකියේ සිටින ප්‍රධාන මත්සයා polypterus යයි අදහස් කරන්නෙකුට පමණකි.


👉 අඩි 5x2x2 තරමේ වත් ටැංකියක් මෙයාලා වෙනුවෙන් වෙන් කරන්න බැරි නම් polypterus හදන එක තේරුමක් නැහැ.


👉පසුතලය සඳහා මොන වගේ පාටක් සුදුසුද?


මේ සඳහා මගේ කලින් බැක්ග්‍රවුන්ඩ් සඳහා ලියපු ආර්ටිකල් එක කියවා අවබෝධයක් ලබාගන්න. Polypterus මසුන් සිටින ටැංකියක පසුතලයට කළු සහ නිල් වර්ණය වඩාත් සුදුසුයි. නිල් පැහැති වර්ණය යොදා ගන්නවානම් ලා නිල් වර්ණය යොදාගැනීම සුදුසුයි.


👉ටැංකිය තුළ ගස් වැවීම සුදුසුද?


ටැංකිය තුළ ගස් වැවීම ටැංකියේ අලංකාරය , මසුන්ගේ ශරීරයේ ඇති වර්ණ අලංකාර වැඩිදයුණු වීම සහ මාළුන්ගේ සෞඛ්‍ය තත්වය ,වතුරේ ගුණාත්මක භාවය ඉහළ දැමීමට ,ස්වභාවික පරිසරයක මෙන් අලංකාරයක් ලැබීමට හේතුවක් වුණත් පිරිසිදු කිරීමේ කටයුතු සඳහා වැඩි‍ පරිශ්රමයක් යෙදීමට සිදු වේවි. නෙළුම් කොළ වැනි විශාල පත්‍ර සහිත ගස් වැවීම සුදුසු නැහැ මොකද ජලය මතුපිට එයින් ආවරණය වෙලා යනවා ඒක ඔවුන්ට හුස්ම ගැනීමට බාධාවක්.




👉කොට කෑලි තැබීම සුදුසුද? 


ටැංකියතුළ කොට කෑලි තැබීම අවදානම් සහිතයි. විශේෂයෙන්ම කුඩා ඉඩකඩ සහිත ටැංකියක කොට කෑලි තැබීම මගින් හදිසියේ කලබල වූ අවස්ථාවකදී මෙම මසුන් ඒ මේ අත පිහිනා යාමේ දී ඔවුන්ගේ ශරීරය ඒවායේ ගැටීමට පුළුවන්. උදා -ටැංකිය අසලින් අප ගමන් කරන විට,

ටැංකියේ lights on කරන අවස්ථාවේදී, අපි ටැංකියට අලුතින් මත්ස්‍යයන් හඳුන්වා දෙන අවස්ථාවේදී, ටැංකිය පිරිසුදු කරන අවස්ථාවේදී, මේ ආදි වශයෙන් ක්ෂණිකව සිදුවන ඕනෑම වෙනස් වීමකදී  මේ වගේ කලබලයක් ඇති වන පුළුවන් එවිට ඔවුන් ක්ෂණිකව ප්‍රතිචාර දක්වන්නෙ හැකිතාක් ඉක්මනින් ඔවුන් සිටින ස්ථානයෙන් ඉවතට වේගයෙන් පිහිනා යාම මගින්. මේ අවස්ථාවකදී ඔවුන්ගේ හිස කොටයක් වැනි රළු පෘෂ්ඨයක ගැටීම තුළින් ක්ෂණික මරණය පවා ඇති වෙන්න පුළුවන්. නමුත් තරමක් විශාල ඉඩ ඉඩක් ඇති ටැංකියක මේ අවදානම අඩුයි(10x3x2 පමණ විශාල ටැංකියක හෝ පොකුණක). කොට කැබලි භාවිතා කරනවා නම් ටැංකියේ ජලය මට්ටම ආසන්නයි එල්වා තැබීම කරන්න පුළුවන් මෙයින් ටැංකිය පතුලේ ඇති ඉඩකඩ උපරිම ලෙස ඔවුන්ට ලබා දෙන්න හැකියාව ලැබෙනවා.


👉 ටැංකි ඉතා හොඳින් ආවරණය කිරීම අත්‍යවශ්‍ය කාරණයක්. මෙයින් මත්ස්ය ටැංකිය න් එලියට පනින එක වලක්වා ගන්න පුළුවන්. මතුපිට වාතය ආශ්වාස ප්‍රාශ්වාස කරන නිසා. ඒ සඳහා ඔවුන්ට හැකි වන අයුරින් ටැංකියේ වහලය සකස් කළ යුතුයි.එය සිදුරු සහිත ප්ලාස්ටික් දැලක් වැනි යමකින් ආවරණය කිරීම වාසි සහගතයි. මොකද යම් අවස්ථාවක ඔවුන් එලියට පැනීමට උත්සාහ කළොත් ඉතා තද පෘෂ්ඨය කින් වහල සවි කර තිබුනොත් ඔවුන් වහලයේ වැදි තුවාල සිදු කර ගන්න පුළුවන්. ඒ වගේම පිටත වාතයට ජල ස්ථරය නිරාවරණය කර තැබීමෙන් ජලයේ ගුණාත්මක බව පවත්වා ගැනීමට හේතුවක් වේවි.


👉පොකුණක් තුළ polypterus මසුන් ඇති කරන්න පුලුවන්ද?


අනිවාරයන් පුළුවන් නමුත් වර්ෂා ජලය පොකුණේ ජලය සමඟ මිශ්‍ර වීම අවදානම් සහිතයි අනිවාර්යෙන්ම ආවරණයක් යෙදීය යුතුමයි. මේකට හේතුව තමයි වර්ෂා ජලයේ pH අගය ඉතා පහළ මට්ටමක තිබීම. වර්ෂා ජලයෙ නොයෙක් විෂ රසායන ද්‍රව්‍ය මිශ්‍ර වී තිබීමට පුළුවන්. තවද වර්ෂා ජලය එකතු වීමෙන් වතුරේ පරාමිතික අගය ක්ෂණිකව වෙනස් කිරීම මාළුන්ට කිසිසේත්ම හිතකර වන්නේ නැහැ, ආවරණයක් නොකල පොකුණක පිරිසිදු කටයුතු ඉතා අමාරුයි අනවශ්‍ය ඇල්ගී වැනි ජලජ ශාක ඉතා ඉක්මනින් පැතිරී යන්න පුළුවන්.


👉පතුළට මොනවද දාන්න පුළුවන් ?


මේ සඳහා ජනප්‍රියම සහ වඩාත්ම සුදුසු දේ වන්නේ රතු, රෝස ,දම් වර්ණයන්ගෙන් යුත් ගානට් වැලි විශේෂ, Ocean free bio gravel හෝ කෘතිමව නිෂ්පාදනය කරන ලද රතු පැහැයෙන් යුත් වැලි වර්ග.කෙනෙක් ඇහුවොත් මේ වැලි කැටයක ප්‍රමාණය කොතරම් විශාල විය යුතුද කියලා. ලේසියෙන්ම කියන්න පුළුවන් වැඩුණු polypterus මත්ස්‍යයකුගේ ඇසේ ප්‍රමාණයෙන් හරි අඩක් පමණ විශාල ප්‍රමාණයේ වැලිකැට යෙදීම සුදුසු කියලා. එය සම්පූර්ණයෙන් පතුල වැසී යන තෙක්  දැමීම අත්‍යවශ්‍ය නැහැ. එසේ හැකි නම් එය ටැංකියේ අලංකාරයට හේතුවක් වේවි.


👉මුහුදු වැලි ,ගඟේ වැලි, යොදන්න පුලුවන්ද


කිහිප වරක් සෝදා වියළා ගැනීමෙන් පසුව භාවිතා කිරීමට පුළුවන් නමුත් කිසිසේත් ම සාර්ථක නැහැ. ඊට හේතුව මෙම වර්ග ගණනාවකින් යුක්ත polypterus මත්ස්‍යයන්ට ඔවුන් ඔවුන්ට ආවේණික වර්ණ රටා තියනවා. සුදු පැහැයට හුරු මෙම වැලි වර්ග යෙදීමෙන් බොහෝ වර්ග වල මසුන්ගේ ඇති වර්ණවත් ශරීර වර්ණය මැකී යනවා. තවත් අවාසිය තමයි මෙවැනි වැලි වර්ග , උළු කැට කැබලි ගඩොල් කුඩු වැනි දේවල් යෙදීමෙන් pH අගය සහ ජලයේ ගුණාත්මක භාවය. වෙනස් වීමකට ලක්වෙන්න තියෙන ඉඩකඩ වැඩියි.


👉කළු පාට වැලි හොඳයිද


කළු පාට වැලි හැමෝම වර්ග වල polypterus අයට හරියන්නේ නැහැ විශේෂයෙන්ම lower jaw අයට. මෙමගින් මසුන්ගේ ශරීරයේ ඇති කොළ පැහැය ඉස්මතු කර ගන්න කළු පැහැති වැලි යෙදීම වැදගත් වෙනවා. නමුත් විවිධ වර්ග වල මසුන්ගේ සමෙහි ඇති විවිධ රේඛා සහ වර්ණ රටා සෑම දෙයක්ම කළු පැහැති රැලි යොදාගැනීමෙන්  මතු කරගන්න බැහැ. ඒ වගේම අඳුරු පැහැයක් එමගින් මසුන්ට ලැබෙනවා. රතු පැහැති වැලි යෙදීම තරම් සාර්ථක තවත් ක්‍රමයක් නැහැ.


👉 මීට අමතරව තව ඉතා සාර්ථක ක්‍රමයක් තමයි 50%රතු වැලි 30%කළු වැලි20% දුඹුරු වැලි කවලම් කර ටැංකි පතුලට දැමීම මෙය ඉතාමත් සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න පුලුවන් ක්‍රමයක් වගේම විවිධ මසුන් වර්ග වල ඇති විවිධ ශරීර වර්ණයන් සෑම දෙයක්ම තීව්‍ර කිරීමේ හැකියාව මෙයට තියෙනවා.


👉 ටැංකිය පතුළ හිස්ව තැබීම සුදුසුද


ටැංකිය පතුළ හිස්ව තැබීම අවදානම් සහිතයි. වැලි වර්ගයක් නොතිබීම නිසා මෙම මසුන්ට ඝර්ෂණ හැකියාව ලැබෙන්නේ නැහැ එමගින් වේගයෙන් පිහිනා යන අවස්ථාවකදී ඔවුන්ට පාලනය ගිලිහී ගොස් හිස ටැංකියේ විදුරුවේ වැදී මිය ගිය අවස්ථා අපි අසා තියෙනවා. එම ඝර්ෂණ හැකියාව වැඩි කිරීමට ආරක්ෂිත පිළියමක් ලෙස වැලි යොදා ගැනීම කරන්න පුළුවන්.ටැංකිය පතුළ හිස්ව තැබීමෙන් පිරිසුදු කිරීමට පහසුවක් වෙනවා. අනෙක් අවාසිය තමයි මාලුන්ගෙ වර්ණයන් මැකීයාම අනිවාර්යෙන් සිදුවෙනවා.


👉 වැලි යොදා ගන්නැතුව වෙන කිසිම ක්‍රමයක් නැද්ද මාලුන්ගේ ස්වභාවික පාට මතු කරගන්න.


රතුපාට tiles ටැංකියේ පතුලට යෙදීම. මෙමගින් ටයිල් කැට යට ආහාර කැබලි මලපහ වැනි ද තැන්පත් වී විවිධ අහිතකර බැක්ටීරියා වර්ග ජනනය වීමට ඉඩකඩ තියෙන නිසා ඒ ගැන සැලකිල්ලක් දක්වන්න ඕන.ටැංකියේ පතුල රතු වර්ණය ආලේප කිරීම හෝ ස්ටිකරයක් ඇලවීම. මෙයින් මසුන්ට අවශ්‍ය ඝර්ෂණය ලබා දීමට නොහැකි නිසා වාසිදායක තත්ත්වයක් තියෙනවා.


👉 gravel වර්ග යෙදීම සුදුසුද?


Polypterus හදන අයට ටැංකියේ පතුලට gravel දාන්න එපා කියන්නේ මෙන්න මේ හේතුව නිසා. මෙයාල කෑම කන වෙලාවට suction power එක නිසා හෝ වැරදීමකින් සමහර වෙලාවට මේවා ගිලින්න වැඩි ඉඩකඩක් තියෙනවා.( කැඩී ගිය කොට කැබලි,ඉස්සො පොතු,කුඩා ගල් කෑලි ) මෙච්චර විශාල නොදිරවූ දෙයක් ගුද මාර්ගයෙන් නැවත එලියට ගන්න හැකියාවක් නැහැ එම නිසා මාලුව මිය යනවා.


Polypterus මසුන් community  කරන්නේ කොහොමද?

🙃Polypterus මසුන් කියන්නේ අනෙකුත් මසුන්ට දරුණු ලෙස එළව එළවා පහර දෙන සතුන් නෙමෙයි. නමුත් ඔවුන් කුසගිනි වූ විට ඔවුන්ට ගිල දැමිය හැකි ඕනෑම දෙයක් ගිල දැමීමට පසුබට වන්නේ නැහැ.

🙃 සමහර snakehead වර්ග, සමහර විශාල catfish වර්ග, මඩුවන් වර්ග, pleco වර්ග සහ අනෙක් මසුන්ට දරුණු ලෙස පහර දෙන විලෝපික මසුන් polypterus මසුන් සමග එකට ඇති කිරීම නුවණට හුරු නැහැ.

🙃 පොලී මසුන් ඇති කරන ටැංකියේ setup එකට ගැලපෙන වර්ගයේ මසුන් තෝරා ගැනීමත් වැදගත්. මොකද ප්‍රධාන වශයෙන් substrate එකේ වර්ණය සහ background එකේ වර්ණය හැම මසුන්ට ම ගැලපෙන්නෙ නැති නිසා.

🙃 පොලී මසුන් සමග ඇති කරන මසුන් පිළිබඳ තව විශේෂ කාරණයක් සැලකිල්ලට ගත යුතුය  polypterus යනු ටැංකියේ පතුලෙහි ජීවත් වන මසුන් කොටසක් ඔවුන්ට බාධාවක් ,තරගයක් නොවන අයුරින් කෑම ලබා දිය හැකි මසුන් වර්ග තෝරා ගැනීම නුවණට හුරු වේ. විශේෂයෙන්ම over feed  වගේ දේවල් අනිවාර්යෙන් අවම කරගන්න ඕන

🙃 ඒ වගේම polypterus මසුන්ට රෝග ඇතිවූ අවස්ථාවන්වලදී භාවිතා කරන බෙහෙත් වර්ග වලට අතිශය සංවේදී නොවන මසුන් වර්ග තෝරා ගැනීම ඔබට එවැනි අවස්ථාවක් සිදුවුවහොත් මුහුණදීමට පහසුවක් වේවි.


👉 කෙනෙකු කියන්න පුළුවන්ද ඉහත සදහන් කරපු කාරණා වලට හාත්පසින්ම වෙනස් විදියට මාළු ගොඩක් කල් ඇති කරලා කිසිම ප්‍රශ්නයක් වුණේ නැහැ කියලා. මම මෙතන කියන්න උත්සාහ කරන්නේ කිසිම අවදානමක් ගන්නැතුව හරියටම polypterus මසුන් ඇති කරන්න කරන්න ඕන මොනවද නොකරන්න ඕන මොනවද කියල විතරයි. නිවැරදි ආරම්භයක් නොගත්තොත් මැද හරි ගියාට අග වරදිනවා ☠

Saturday, March 12, 2022

Polypterus මාළුවාට කන්න දෙන්නේ කොහොමද?

 



Polypterus මාළුවාට කන්න දෙන්නේ කොහොමද?


නිශ්චිතව නිවැරදි යයි කිව හැකි හරි හෝ වැරදි ආහාර දීමේ ක්‍රමවේදයක් නොමැත.


විවිධ විශේෂ හා වයස් කාණ්ඩ සඳහා විවිධ මේද සංචිත සහ පෝෂ පදාර්ථ විවිධ මට්ටම් වලින් අවශ්‍ය වේ එය ඔබ පෝෂණය කරන දේ මත ද රඳා පවතී.


ඉතා කුඩා අවදියේ දී සාමාන්යයෙන් දිනපතා පෝෂණය අවශ්‍ය වේ (කුඩා ප්‍රමාණයේ ආහාර වේල් කිහිපයක් ) සිහින් ශරීර සහිත   P. teugelsi and P. retropinnis වැනි විශේෂ වලට ඉහළ පරිවෘත්තිතී හැකියාවක් ඇති නිසා ඔවුන්ට වැඩි ආහාර වේල් ප්‍රමාණයක්ම දිම වරදක් නැත. මන්දගාමී පරිවෘත්තීයතාවයක් ඇති අනෙකුත් විශේෂයන්ට සතියකට වරක් හෝ දෙවරක් කෑම ලබාදීම ප්‍රමාණවත්.


මගේ අත්දැකීම් අනුව  දිනපතා ආහාර දීමද කළ හැක නමුත් එය ඉතා කල්පනාකාරීව කළ යුත්තකි ඔවුන්ට ජීර්ණ අපහසුතා නොවන පරිදි සුළු ප්‍රමාණයකින් යුතු ආහාර වේලක් ලබාදීම කළ හැක. කෙසේ වෙතත් මාලුවා හපත් සෞඛ්‍ය තත්වයෙන් සිටිනවා නම් ගැලපෙන ලෙස ආහාර ලබාදීම කාලසටහනක් අනුව සිදු කරනවානම් වඩාත් හොඳයි. වැදගත්ම කාරණය හැමදාම එකම දේ කෑමට නොදී ආහාර විවිධ වර්ග වලින් ලබාදීම. මාලු වර්ග ලබා දෙනවානම් ඉතා නැවුම් තත්වයේ න් ලබාදීම මගින් බොහෝ ලෙඩ රෝග වලින් ආරක්ෂා කරගැනීමට හැක. ඊළඟට ගොඩක් අය අහනවා මොනවද කන්න දෙන්න ඕන?👇


1.Hikari  sinking pellets වර්ග අද වෙළඳපොලේ ගන්න තියෙනවා

2.ජපානයේ නිෂ්පාදනය කරලා තියෙන බොහෝ sinking pellets වර්ග දෙන්නන පුළුවන්

3.අලුත් අමු හාල් මැස්සෝ

4.Live කෑමට දෙන්න අවශ්‍ය නම් තිලාපියා හොඳයි


පරිස්සම් වෙන්න ඕන මේව කෑමට දෙනවනං 👇


*. ඉස්සො, හරක් මස් හදවත, සාලය, කුකුළු මස් හැමදාම දෙන්න හොඳ දෙයක් නම් නෙවෙයි. මොකද polypterus මාළුවාගේ ශරීරයේ තියෙන එන්සයිම මෙම ලිපිඩ ජීරණය කිරීමට ප්‍රමාණවත් නැති නිසා


*මාළුවාගේ ශරීර ප්‍රමාණයට, මුඛයේ ප්‍රමාණයට ගැලපෙන ලෙස කුඩා කැබලි වශයෙන් කෑම ලබාදීම වැදගත්. එය ඔහුට ග්‍රහණය කරගැනීමටත් ජීර්ණය කර ගැනීමටත් අනෙකුත් අපහසුතාවන් මගහරවා ගැනීමටත් ප්‍රයෝජනවත්


අමු මාලු කන්න දෙනවනම් මේ කොටස්වල වටිනාකම ඔබ දන්නවාද කොරපොතු සහ අස්ථි වලින් ඛනිජ ලවණ, බඩෙන් මේදය, ෆිලට් වලින් ප්‍රෝටීන් සහ ඉනාර්ඩ් වලින් විටමින් ය.  එබැවින් සෑම කොටසක්ම වැදගත් බව මතක තබාගන්න.


කන්න දෙනවා වගේම නිසි වෙලාවට ටැංකියේ වතුර නිසි ප්රමාණය මාරු කරමින් වතුරේ ගුණාත්මක තත්වය යහපත් ව පවත්වා ගැනීම ඔබගේ සුරතල් මසුන් ගෙ වර්ධනයට ඉතාම වැදගත් බව සිහි තබා ගන්න

පොලිප්ට්‍රස් - පලමු කොටස

 



දවසක් මල්ලි කෙනෙක් මගෙන් ඇහුවා වැඩිය පීනන්න නැති මාළුවෙක්  ඔය තරම් පිස්සුවෙන් හදන්න හේතුව මොකක්ද කියලා..


පුද්ගලිකව හේතු කිහිපයක් සරල ලෙස සඳහන් කළොත් polypterus කියන්නේ දළ වශයෙන් වසර මිලියන 400 පමණ දිගු ඉතිහාසයකට නෑකම් කියන මත්ස්‍යයෙක්  ඒක මත්ස්‍යාට ලොකු වටිනාකමක් ලැබෙන්න හේතුවක්.


ප්‍රාග් ඓතිහාසික යුගයේ දී මේ මාළුවන්  ඩනෝසරයන්ගේ සමකාලීනයන් වූ අතර නයිල් ගඟේ ජීවත් වන කිඹුලන් සමග වසර දහස් ගණනාවක් නොනැසී එකට ජීවත් වීමට හැකිවූ මත්ස්‍යයෙක්.


කවුරු හරි කෙනෙක් ජීවිතය පලවෙනි පාරට දකිනකොට මේ මොන ජාතියක සතෙක් ද කියල හිතාගන්න බැරි විදියෙ පෙනුමක් තිබෙනව. උභය ජීවියෙකුගේ පෙනුමක් තමයි එකවර දකින්න ඕන කෙනෙකුට හිතෙන්නෙ.


අභ්‍යන්තර හා බාහිර ශරීරයේ පිහිටීම  මිහිතලයේ වෙනත් කිසිම මාලුවෙකුට සමාන කළ නොහැකි ලෙස සකස් වී තියෙනවා ඒක ආකර්ෂණීය හේතුවක්.


දිගු කාලයක් ජීවත් විය හැකි, ශක්තිමත් බවින් යුක්ත බැවින් විවිධ පාරිසරික වෙනස්වීම් වලට ඔරොත්තු දෙමින් අවුරුදු මිලියන ගණනාවක් තිස්සේ නොනැසී පැවත එන නිසා


මොවුන් පිළිබඳ විශාල ලෙස යුරෝපයේ රටවල සහ ජපානය වැනි රටවල් විවිධ මට්ටමේ ගවේෂණ සහ පරීක්ෂණ අඛණ්ඩව කිරීමට තරම් වටිනාකමක් මේ මත්ස්‍යයන්ට ලැබුණා. McGill university, kami hata expedition


මෙම මාළුවා ගැන බොහෝ පුරාවෘත අප්‍රිකානු රටවල් වල සමාජගත වී ඇත ඒ වගේම මෙම මත්ස්‍යයා පිළිබඳ වාර්තාමය රූපවාහිනී වැඩසටහන් ,සඟරා සහ පොත්පත් ලියැවී ඇති නිසා.


මම දන්න තරමට  කිඹුලගෙන් පස්සේ Death roll ක්‍රමයට ගොදුරු කොටස් කර ගැනීම කරන්න එකම මාලුවා මෙයා විතරයි.


එංගලන්තයේ පිහිටි ලෝකප්‍රකට කෞතුකාගාරයක් වන national history museum එකේ ඔවුන්ගේ විශාල පොසිල එකතුවක් ඇති නිසා.


අප්‍රිකානු මහද්වීපය නිජබිම කොටගත් මෙම  සත්වයා තර්ජනයට ලක්ව සිටින සතෙකු ලෙස ලෝක රතු දත්ත පොතට අන්තර්ගත කර තියෙනවා.


ශ්වසන පද්ධතිය ක්‍රියාකාරිත්වය, අභ්‍යන්තර ඉන්ද්‍රීන් ගේ පිහිටම, පිහිනන ආකාරය ගොදුරු ඩැහැ ගන්නා ආකාරය අස්ථි නිර්මාණය වී ඇති ආකාරය වැනි කාරණා අනිත් මාළු සමග කැපී පෙනෙන වෙනසක් පෙන්වන නිසා.


කොටින්ම කිව්වොත් ප්‍රාග් ඓතිහාසික ඩයිනෝසර යුගයේ ජීවත් වන සත්වයෙක් සුරතලයට ඇති කරනවා වැනි හැඟීමක් පුද්ගලිකව මට තියෙනවා.😁

Polypterus ආධුනිකයන් සඳහා

  ආධුනිකයන් සඳහා 👇 ඇයි මිනිසුන් විසින් අභිජනනය කරන ලද ඇතැම් polypterus මාළුන්ගේ වර්ගය හරියටම අදුරගන්න බැරි වෙලා තියෙන්නෙ.  1. සමහර මාළුන්ගෙ...