✍️ මසුන් තෝරා ගැනීම
ගොඩක් අය අමාරුවේ වැටෙන තැනක් තමයි මාළුවෙක් තෝරගන්න අවස්ථාව. සමහරු යන රැල්ලට මාළු හදනවා, සමහරු තව කෙනෙක් කියන්න මාළුවා හදනවා. හොඳම දේ තමන් ආස මාලුව හදන්න.මොකද ඒ ටැංකිය රස විදින්නේ ඔයා නිසා. නැත්නම් ඉතින් ටික දවසක් හදල විකුණන්න හරි මාරු කරන්න හරි පෝස්ට් එක දාන්න තමයි වෙන්නේ. එහෙමත් නැත්නම් එපා වෙලා වැඩේ මගදි අත ඇරලා දානවා ඒකෙන් අර අහිංසක මාලුව දුක් විඳිල මැරෙන එක විතරයි වෙන්නෙ.
✍️ නිවැරදි පරිසරය තෝරා ගැනීම
තමන් ඇතිකරන මාළුවා තෝරගත්තට පස්සේ ඊලගට කරන්න ඕන දේ තමයි ඒ මළුවට ගැලපෙන සෙට් අප් එක මොකක්ද කියලා තීරණය කිරීම. උදාහරණයක් විදියට ප්ලාන්ටඩ්, බයෝ ටොප්, බ්ලැක් වෝටර්.ඒ වැඩේ හරියට කරගත්තේ නැත්නම් මාළුව ආතතියට පත් වෙලා අනිවාර්යෙන්ම මැරෙනවා.
✍️ ටැංකියේ ප්‍රමාණය තීරණය කිරීම
ඊළඟට කරන්නම ඕන දෙයක් තමයි තමන් ඒ තෝරගත්ත මාළුන්ට ගැලපෙන ඉඩකඩක් සහිත ටැංකියක් නිර්මාණය කිරීම.පස්සේ ලොකු වෙනකොට ලොකු ටැංකියක් හදනවා කියන කතා බොහෝ දුරට සිද්ද වෙන්නෙ නැති දේවල්.කොහොම නමුත් ලොකු ටැංකියක් ලබා දෙනවා කියන්නේ ඉක්මනින් මාළු ලොකු වෙන්න හේතුවක් කියන එක. පමණට වඩා කුඩා නොගැලපෙන ටැංකි භාවිතය අපිට සුලබව දකින්න පුළුවන් අඩුපාඩුවක්. එමගින් වෙන්නේ මාළුවාගේ වර්ධනය අඩාල වීම ආතතියට පත්වීම පහසුවෙන් ලෙඩ රෝග වලට ගොදුරු වීම වගේ දේවල්.
✍️ පෙරහන්
ඊළඟට වැදගත්ම කාරණය තමයි ෆිල්ටරය සහ ෆිල්ටර් මීඩියා. මේක තමයි ටැංකියේ හදවත. හොඳ filteration එකක් තිබුනෙ නැත්නම් වැඩේ සම්පූර්ණයෙන්ම කඩාකප්පල් වෙනවාමයි.තමන් ඇතිකරන මාලු වර්ග ටැංකියේ ජල ධාරිතාව සහ සෙට් අප් එක සැලකිල්ලට අරගෙන තමයි පෙරහන් සහ පෙරහන් වර්ගය සහ ෆිල්ටර මීඩියා තෝරා ගන්න ඕන.මේක හරියට කරගත්තේ නැත්නම් මාළු හැමදාම ලෙඩ. එහෙම නැත්නම් මාළුවා නිසි ආකාරව නිරෝගීව වර්ධනය කරගන්න බැරිවෙනවා. ඒ වගේම පැය 24 පුරාම ෆිල්ටරය ක්‍රියාත්මක කළ යුතුමයි. ඒ වගේම එය තුළ කුණු රැඳී වතුර ගලා යාම අවහිර වෙලා වගේ පේනවා නම් එය හිතකර බැක්ටීරියා විනාශ නොවන ආකාරයෙන් පිරිසිදු කර ගත යුතුයි.
😃හොඳ උදාහරණයක් කියන්නම් අලියෙකුගේ ශරීරයට ලේ පොම්ප කරන්න ඒ ශරීරයට ගැලපෙන හෘදයක් තියෙන්න ඕන
ඒකට මිනිහෙකුගේ හදවතක් හයි කරලා හරියන්නෑ. මොකද ඒසා විශාල ශරීරයක් නඩත්තු කරන්න අවශ්‍ය කරන ලේ පොම්ප කිරීමට ඒ වගේ කුඩා හෘදය වස්තුවකට බැහැ😂
✍️ ඔක්සිජන්.
මින් මැදුරට ඔක්සිජන් සැපයුම අඛණ්ඩව සිදුවිය යුතුයි. විශේෂයෙන්ම වාතාශ්‍රය ටැංකියේ ජල ස්ථරයේ නොගැටෙන විශාල ජල ධාරිතාවක් නොමැති ටැංකි සඳහා විශාල මසුන් ප්‍රමාණයක් සහිත ටැංකි සඳහා, ඔක්සිජන් සැපයුම අත්‍යාවශ්‍යයි.ඔක්සිජන් සැපයුම කඩින් කඩ ලබාදෙමින් මසුන් ඒ සඳහා හුරු කිරීම වගේ දේවල් මිථ්‍යා මත පමණයි. මිනිස්සුන්ට වගේ තමයි අපිට අඩු ඔක්සිජන් සහිත ස්ථානයක ජීවත්වීමට හුරු වෙන්න බැහැ.ඔක්සිජන් සැපයීමේ දී එය ජලයේ දිය වන ආකාරයට ලබාදීමත් වැදගත්. ප්‍රමාණවත් ඔක්සිජන් සැපයුමක් ලබා දීමෙන් මසුන්ගේ නිරෝගීභාවය ,දීර්ඝායුෂ, ආහාර ජීරණය වේගවත් වීම, ක්‍රියාශීලී වීම වගේ වාසි ලැබෙනවා.
✍️ ජල පරාමිතීන් ස්ථාවරව තබා ගැනීම.
ජල පරාමිතීන් නිවැරදිව තබා ගැනීම අත්‍යවශ්‍ය කාරණයක්.එහෙම නොවුණොත් මසුන් විශාල වශයෙන් ආතතියට පත් වෙනවා සහ පහසුවෙන් ලෙඩ රෝග වලට ලක්වෙනවා. මේ නිසා කලට වෙලාවට පිරිසිදු කිරීම් සහ නඩත්තු කටයුතු කිරීම ඉතා වැදගත්. ගැලපෙන පෙරහන් මාධ්‍යන් පමණක් භාවිතා කිරීම අත්‍යවශ්‍ය කාරණයක්. නොගැලපෙන පෙරහන් මාධ්‍ය භාවිතා කිරීමෙන් හා වැරදි ලෙස ඒවා පෙළ ගැස්වීමෙන් ජල පරාමිතීන් වලට විශාල බලපෑමක් සිද්ධ වෙන්න පුළුවන්. ජලය දෙස පියවි ඇසින් බලා ජලයේ ගුණාත්මක භාවය පැවසිය නොහැක.මේවා පරික්ෂා කිරීමට දැන් වෙළඳපොලේ උපකරණ ඇති නිසා ඒවා ලග තබාගැනීම ඔබට පහසුවක් වේවි. වෝටර් කන්ඩිෂනර් පාවිච්චි , ඇන්ටි ක්ලෝරීන් භාවිතා කිරීම වරදක් නැහැ. නමුත් chemical වර්ග භාවිතා කරනවට වඩා ෆිල්ටරය මත විශ්වාසය තැබීම වඩා යෝග්‍යයි. ක්ලෝරීන් ඉවත් කිරීමත් අපිට ස්වභාවිකව කළ හැකියි.
✍️ ආලෝකකරණය
විදුලි ආලෝකකරණය කියන්නේ ඉතා වැදගත් කාරණයක් ඇතිකරන මසුන්ට සහ setup එකට ගැලපෙන වර්ණයන් පමණක් භාවිතා කිරීම අත්‍යවශ්‍ය කාරණයක්. ඒ පමණක් නොවෙයි එම ආලෝක තීව්‍රතාව ගැනත් අනිවාර්යෙන් සැලකිලිමත් විය යුතුයි. තවත් සිද්ධ වෙන්න පුළුවන් බරපතළම කාරණයක් තමයි අපි භාවිතා කරන ආලෝක වර්ණයන් නිසා වතුරේ රසායනික වෙනස්කම් සිදුවීම. ටැංකියේ වතුරට අපි දමන සමහර බෙහෙත් වර්ග සමගත් ආලෝකය ප්‍රතික්‍රියා කරන නිසා ඒ පිළිබඳ සැලකිල්ලක් දැක්වීම වැදගත්.දැඩි ආලෝකය සහ අනවශ්‍ය වර්ණය නිසා මසුන් ඉතා ඉක්මනින් ආතතියට පත්වීම, ලෙඩ රෝගවලට පහසුවෙන් ගොදුරු විම, ඇස් දුර්වල වීම හෝ මරණය සිද්ධ වෙන්න පුළුවන්.
✍️ පසුතලය තෝරා ගැනිම
ගැලපෙන වර්ණයක් භාවිතා කරමින් පසුතල නිර්මාණය කිරීම ඉතා වැදගත් මොකද එහෙම නැති වුනත් අපි ඇතිකරන මසුන් පැහැදිලිව අපිට දැකගන්න බැරි වෙනවා ඡායාරූප ගැනීමට බලාපොරොත්තු වෙනවා නම් ඒ සඳහා සුදුසු පසුතල වර්ණයක් යොදා ගත යුතුම වෙනවා. සමහර ආලෝක වර්ණයන් පසුතල වර්ණයන් සමඟ එකිනෙක ප්‍රතික්‍රියා කිරීමෙන් ජලයේ විවිධ රසායනික වෙනස්වීම් සිදු වන්නට පුළුවන්.
✍️ ටැංකියේ පතුල සැකසීම
පොළොවට යොදාගන්නේ මොනවද කියන එකත් වැදගත්ම කාරණයක් සමහර මාළුන්ට කිසිවක් පාවිච්චි කරන්නැතුව පතුල හිස්ව තියන එක තමයි ආරක්ෂාවට හොඳ.නමුත් සමහර මාළුන්ට පතුල හිස්ව තැබීම ආරක්ෂිත නැහැ. පතුල සඳහා graval ,sand, grass bed වගේ දේවල් ඇතිකරන මාළු වර්ග අනුව තෝරගන්න පුළුවන්.සමහර ගල් වැලි වර්ග වලින් වතුර තියෙන පරාමිතීන් වලට බලපෑමක් කරනවා ඒ ගැනත් කල්පනා කාරී විය යුතුයි. පිරිසුදු කිරීම් කටයුතු කිරීමට පහසු වන ලෙසත් මසුන් ආතතියට පත් නොවන ලෙසත් මසුන්ගේ අවශ්‍යතා හඳුනාගෙන මේ තෝරා ගැනීම කළ යුතුයි.
✍️ අනවශ්‍ය සැරසිලි
මොන්ස්ටර් කාණ්ඩයේ මාළු හදන ටැංකි වල නම් සැරසිලි වගේ දේවල් දකින්නෙ නැති තරම්. ඒක නම් හොඳ දෙයක්. සමහර ටැංකි වල තොරොම්බල් කරත්ත වගේ වතුර මල්, පිළිම, ප්ලාස්ටික් ගස්, පාට පාට ගල් කෑලි ,කැරොකෙ ක්ලබ් වල වගේ විවිධ වර්ණ ආලෝක ගැන්වීම් සහ දිලිසෙන වීදුරු බෝල මේ ආදී අනවශ්‍යය දේවල් දකින්ට පුළුවන්. මේ වගේ දේවල් වලින් මාළු අනවශ්‍ය විදියට ආතතියට පත් වෙනවා.හොඳම දේ තමයි මසුන්ට ස්වභාවික පරිසරයක් හැකි උපරිමයෙන් ලබා දීම.
✍️ අලුත් මසුන් එකතු කිරිම
ටැංකියට අලුත් මසුන් එකතු කිරීමේදී ඉතා ප්‍රවේශම් විය යුතුයි අනවශ්‍ය ගැටුම්, ආහාර සඳහා ඇතිවන අනවශ්‍ය තරඟය, මින් ප්‍රධානයි. ඒ වගේම අලුතින් එකතු කරන මාළු ටැංකියේ දැනට ජීවත් වන අනෙකුත් මසුන්ගෙ ජල පරාමිතීන්වලට ගැලපෙනවද නැද්ද වගේ දේවල් ගැන විශේෂ අවධානයක් යොමු කළ යුතුයි. මේ තෝරා ගැනීම නිසියාකාරව සිදු නොවුනත්
මසුන් අකාලයේ මිය යෑම, මසුන් විශාල ආතතියකට පත් වීම, ලෙඩ රෝගවලට පහසුවෙන් ගොදුරු වීම සහ වේගයෙන් ලෙඩ රෝග පැතිරයාම විවිධ මසුන් සිටින නිසා ලෙඩ රෝග සඳහා බෙහෙත් භාවිතා කිරීමේ ගැටලු ඇතිවෙන්න පුළුවන්.
✍️ ආහාර ලබාදීම
මසුන්ට ආහාර දීම සම්බන්ධයෙන් කතා කළොත් ඒ ඒ මසුන්ගෙ පෝෂණ අවශ්‍යතාවන් හඳුනගෙන ආහාර ලබාදීම වැදගත්. ලබාදෙන්න කෑම වේල් ප්‍රමාණය සහ අවශ්‍ය ප්‍රමාණයට පමණක් ආහාර ලබා දීම, ටැංකියේ සිටින සෑම මත්ස්‍යයකුටම ආහාර ලැබීමට සැලැස්වීම. ලබාදෙන සෑම ආහාර වේලක් නැවුම් ලෙස ලබා දීම මසුන්ගෙ වර්ධනයට මෙන්ම ලෙඩ රෝග වලින් ආරක්ෂා කර ගැනීමට හේතුවක් වේවි.
✍️ මත්ස්‍ය අභිජනනය
පැටවුන් අභිජනනය කිරීම වැනි කටයුත්තක් සඳහා ඔබ යොමු වෙනවා නම් ඒ පිළිබඳ විශේෂඥ දැනුමක් ඇති අයගෙන් කරුණු අසා දැන ගැනීම නුවණට හුරුයි. එහෙම නැත්නම් අවසන් මොහොත පැමිණියාට පස්සේ මොකද කරන්නේ කියලා හොයනවාට වඩා ඒ සඳහා පෙර සූදානමක් ලබා ගැනීම වැදගත්. ඒ සඳහා අවශ්‍ය වේ යැයි සිතන අමතර ටැංකි ,බෙහෙත් ,ආහාර වගේ දේවල් කලින් සූදානම් කර තිබීම ඔබගේ සහ මසුන්ගේ ආතතිය වළක්වා ගැනීමට හේතුවක් වේවි
✍️ පිරිසුදු කිරීම් සහ නිසි නඩත්තුව
සතියට වරක්වත් මින් මැදුර පිරිසුදු කිරීමෙන් සහ පිරිසුදු ජලය එකතු කිරීම මසුන්ට දීර්ඝායුෂ, වේගවත් වර්ධනය සහ ලෙඩ රෝගවලින් ආරක්ෂාවීමට හේතුවක් වේවි. පිරිසිදු කිරීම් සිදුකිරීමේදී පෙරහන් වල ඇති හිතකර බැක්ටීරියාවන් විනාශ නොවෙන ආකාරයට පිරිසුදු කිරීම අත්‍යවශ්‍ය කාරණයක්. අලුතින් ජලය එකතු කිරීමේදී කොපමණ ප්‍රමාණයක් එකතු කළ යුතුද යන්න මසුන් වර්ගය අනුව තීරණය වේ. ඒ සඳහා අවශ්‍ය දැනුම ඔබ පෙර ලබාගැනීමෙන් මසුන් ගේ ජීවිත ආරක්ෂා කර ගැනීමට පහසු වේවි.
✍️ බෙහෙත් සහ පතිකාර
අපි පශුවෛද්‍යවරුන් නොවන නිසා සියලු බෙහෙත් වර්ග හෝ ලෙඩ රෝග පිළිබඳ නොදන්නෙමු. නමුත් තමන් ඇතිකරන මාලු වර්ගයේ පිළිබඳ පෙර අධ්‍යනයන් කිරීමෙන් ඔවුන්ට වැළඳෙන ලෙඩ රෝග පිළිබඳ සහ ඒවාට යොදාගන්නා බෙහෙත් පිළිබඳ යම් අවබෝධයක් තිබීම ඉතා වැදගත්. ඒ වගේම අවශ්‍ය වේ යැයි සිතන බෙහෙත් වර්ග සුදුසු අයුරින් ගබඩා කර තබා ගැනීම ඔබට පහසුවක් වේවි.
✍️ රෝහල් ටැංකිය
ගොඩක් අය වැඩි අවධානයක් යොමු නොකරන කාරණයක් තමයි hospital tank එහෙමත් නැත්නම් මසුන් රෝගාතුර වූ පසු වෙන් කර තබාගෙන ප්‍රතිකාර ලබාදීමට යොදා ගන්නා විශේෂ ටැංකිය. රෝගියෙක් රෝහලක නේවාසිකව ප්‍රතිකාර සඳහා යොමු කරනවා වගේ වැඩක් තමයි මේක.එතකොට මාළු ඉන්න ටැංකියට වඩා පහසුකම් ඒ ටැංකියේ තියෙන්නම ඕන අවශ්‍ය ප්‍රමාණයට ඉඩකඩ සියට සීයක් හොඳ ෆිල්ටරයක් මනා ඔක්සිජන් සැපයුමක් වගේ උදාහරණ මේ සඳහා දෙන්න පුළුවන්
✍️ උෂ්ණත්වයට හැඩගැස්වීම
අලුතින් ටැංකියට මසුන් එකතු කිරීමේදී acclimation ගැනීම අත්‍යවශ්‍ය කාරණයක්. මෙහිදී සිද්ධ වන්නේ මාලුවා දැනට සිටින උෂ්ණත්වය සහ මත්ස්‍යයා දැමීමට බලාපොරොත්තු වන ටැංකියේ ජලයේ උෂ්ණත්වය එම මත්ස්‍යයා ආතතියට පත් නොවුන සේ සමපාත කිරීම. එහෙම නොවුණොත් ඒ මත්ස්‍යයාට එකවර උෂ්ණත්ව වෙනස්වීම් වලට සහ ජල පරාමිතීන් වල වෙනස් වීම් වලට ක්ෂණිකව ප්‍රතිචාර දැක්වීමට නොහැකි නිසා මරණයට පත්වෙන්න පුළුවන්.
✍️ නිරෝධායනය
මින්මැදුරට අලුතින් එකතු කරන මසුන් සහ ශාක නිරෝධායනය කිරීම ඉතාම වැදගත් කාරණයක් අපි අලුතින් රැගෙන එන මසුන් සහ ජලජ ශාක විවිධ පරපෝෂිත සහ බැක්ටීරියා ආසාදන වලින් පෙළන සතුන් හෝ ශාක විය හැක.එවැනි සමහර පරපෝෂිතයන් සහ බැක්ටීරියාවන් අපිට පියවි ඇසින් දකින්න බැහැ. එම නිසා දින 5 සිට දින 14 දක්වා අවශ්‍ය පරිදි නිරෝධායන කටයුතු සඳහා යොමු කිරීම ඉතා වැදගත්. විශේෂයෙන්ම කැළෙන් අල්ලාගත් මසුන් නිරෝධායනය කිරීම කළ යුතුම දෙයක්. ඒ සඳහා ටැංකියක් හෝ ටැංකි කිහිපයක් ඒ සඳහා වෙන් කරගත යුතුමයි. එම ටැංකි සඳහා අවශ්‍ය පහසුකම් අඩුවක් නැතුව ලබාදය යුතුයි.(ෆිල්ටර් පද්ධතියක් ,ඔක්සිජන් සැපයුම් උපකරණ, හීටරයක්) නිසිලෙස නිරෝධායනය නොකල මසුන් ටැංකියට එකතුකිරීමෙන් ඔබගේ ටැංකියේ සිටින සියළුම සතුන් අවදානමකට ලක් නොකිරීමට වගබලා ගත යුතුයි.
මග මගහැරුනු තවත් කරුණු ඇත්නම් ඒ කරුණු කමෙන්ට් සෙක්ෂන් එකට දාන්න ඒ සේරම කරුණු මම මේ ලිපියට එකතු කරන්නම්. ස්තූතියි

No comments:
Post a Comment