Thursday, September 16, 2021

අද කතා කරන්න යන්නේ තරමක් සංකීර්ණ මාතෘකාවක්. ටැංකියක පසුතල හැඩ ගැන්වීම සඳහා යොදාගන්නා පාට සහ ටැංකිය පතුලට දාන්න ඕන මොනවද කියන එක ගැන.



ඇයි මේක සංකීර්ණ වෙන්නේ, වැල් වටාරම් නැතුව අපි ඉතා කෙටියෙන් මේක විසඳගන්න බලමු,ඉන්ටර්නෙට් එකෙන් තියරි එක කියෙව්වත් මේක ප්‍රායෝගිකව කරන්න ගියාම ලේසි නැහැ. අපට කරන්න පුළුවන් හොඳම දේ තමයි පළපුරුද්දෙන් අත්දැකපු අයගේ අදහස් ලබා ගන්න එක. එමගින් ටැංකියක පසුතල නිර්මාණය සහ ටැංකිය පතුලට දාන්න ඕන මොනවද කියන එක ගැන අවබෝධයක් වගේම පෙර විපරමක් ලබා ගන්න පුළුවන්. පසුතල නිර්මාණය සඳහා තීරණයක් ගන්න එක ලේසි පාසු දෙයක් නෙවෙයි මොකද මේක නිතර නිතර වෙනස් කරන්න බැරි දෙයක් නිසා. අපි පළමුවෙන්ම කරන්න ඕන අපි කැමති මාළු වර්ග තෝරා ගන්න එක. ඊට පස්සේ ටැංකිය ස්ථානගත කරන්න බලාපොරොත්තුවන ස්ථානය තීරණය කරගන්න ඕනේ. ඊට පස්සේ තමයි පසුතලයට අවශ්‍ය පාට තීරණය කරන්න ඕන. ඊට පස්සේ ඒ සඳහා අපි පාවිච්චි කරන ආලෝකකරණ, වැනි කාරණා ගැන ඉතා හොඳින් සැලකිලිමත් වෙන්න ඕන. අලුතින් ටැන්කියක් මේ විදිහට නිර්මාණය කරද්දි මම දකින හොඳම දේ තමයි පළපුරුදු කෙනෙකුගෙන් අසා දැන ගැනීම. දෙවෙනි කාරණය තමයි ඔබ ඇති කිරීමට බලාපොරොත්තු වන මසුන් තව කෙනෙකු ඇති කරනවානම් එය ප්‍රායෝගිකව ගොස් දවසේ කිහිප අවස්ථාවක නිරීක්ෂණය කිරීම. මොකද ඡායාරූපයකින් හැමදේම ගැන නිගමනයකට එන්න අමාරු නිසා.


සාමාන්‍යයෙන් අපිට මොනවද ලංකාවේ ටැංකිය වල පසුතල නිර්මාණය සඳහා දකින්න පුළුවන් පාට වර්ග


කලු,සුදු,නිල් ,කොල කලාතුරකින් අළු පාට ,3D හෝ ස්වභාවික පරිසරයේ දර්ශන සහිත ස්ටිකර්.. තව විවිධ පාට වර්ග තියෙන්න පුළුවන්.විවිධ වර්ගයේ පාට වර්ග පසුතල දර්ශන සඳහා පාවිච්චි කරන කොට එහි වාසි සහ අවාසි දෙපැත්තම තියෙන්න පුළුවන්, ඒක නිසා තමයි අපිට අද මේ ගැන කතා කරන්න වෙලා තියෙන්නේ 😁


✍කළු වර්ණය තෝරගත්තොත් කොහොමද?


කළු කියන්නේ ඉතා අඳුරු වර්ණයක්. මේ වගේ පසුබිමක දී සමහර අරවානා වර්ගග සහ දීප්තිමත් හෝ ලා පැහැති වර්ණයකින් යුක්ත ශාක හෝ මාළු වර්ගයක් සිටිනවා නම් ඔවුන් ඉතා අලංකාරව දර්ශනය කරගන්න පුළුවන්. අඳුරු පැහැයෙන් යුතු මසුන් වර්ග මේ සඳහා සුදුසු නැහැ.කැමරාකරණයට සඳහා ඉතා සුදුසුයි. කළු වර්ණය සමහර ආලෝක උරා ගන්නා නිසා ආලෝකකරණය කිරීමේදී ඒ ගැන සැලකිලිමත් විය යුතුයි. වැඩි ආලෝකකරණයක් යොදා ගැනීමෙන් සහ විවිධ වර්ණවලින් යුත් ආලෝක යොදාා ගැනීමෙන් සමහර මාලූ වර්ග ආතතියට පවා ලක්වන්න පුළුවන් .කළු පසුතලයක් යෙදීමෙන් ඔබගේ මින් මැදුර කුඩාවට පේනවා ඒක නිසා කුඩා ප්‍රමාණයේ ටැංකි සඳහා කළු වර්ණය සුදුසු නැහැ. එය අවාසියක් විදියට මම දකිනවා.ඔබ ස්වභාවික පරිසරයක් බලාපොරොත්තු වෙනවා නම් වෙන වර්ණයක් යොදා ගැනීම උචිතයි.


✍නිල් වර්ණය තෝරගත්තොත් කොහොමද?


කළු වර්ණය මෙන් නොව නිල් වර්ණය අඩු වැඩිව පාවිච්චි කළ හැක. මෙයින් ජලයේ වර්ණය වැඩිකර පෙන්වනවා කළු වර්ණයට වඩා දීප්තිමත් බැවින් එහි ස්වභාවික පෙනුමක් ගන්නවා. මුහුදු මසුන් ඇති කරන ටැංකියක් සඳහා වඩාත් සුදුසුයි. බහුතරයකගේ පිළිගැනීම නම් ලා නිල් පැහැය යෙදීමෙන් ප්‍රතිඵල වැඩි බවයි. මොකද නිල්පැහැති මලාවි වැනි මසුන් පවා මෙම පසුතලයේ දී දැක ගන්න පුළුවන්. අඳුරු පැහැති හෝ වර්ණවත් නොවන මසුන් වුණත් මේ පසුබිමේ දී කැපී පෙනෙනවා වගේම ස්වභාවික හැඟීමක් ලබා දෙනවා. සමහර අරවානා වර්ග වල වර්ණ තීව්‍ර කිරීම සඳහා ඉහළ ප්‍රතිඵල ලබා ගන්න මේ වර්ණය ප්‍රයෝජනවත් වෙනවා.යම් කෙනෙකුට අඳුරු පසුබිමක් අවශ්‍ය නම් ඒ සඳහා කළු වෙනුවට තද නිල් යොදා ගන්නත් පුළුවන්.


✍කොළ වර්ණය තෝරා ගත්තොත් කොහොමද?


නිල් වර්ණය තුළ තිබෙන ගුණාංග බොහෝදුරට මෙම වර්ණයට අදාලයි. ඒ වගේම planted tank එකක් සඳහා උචිතයි මොකද ජලජ ශාක වර්ග සහ ඇල්ගී මේ පසුබිම සමග එකට මුසුවී ඇසට ප්‍රියමනාප දර්ශනයක් ලබා දෙනවා.


✍විවිධ ස්වභාවික දර්ශන සහිත පසුතල යෙදීම


මෙයින් ටැංකියේ දර්ශනය විශාල වශයෙන් වෙනස් කිරීමකට භාජනය වෙනවා. මෙහිදී සමහර මසුන් සහ සමහර ශාක වර්ග වල ස්වභාවික දර්ශනය නැති වී යාමටත් හේතුවක් වෙන්න පුළුවන්. ටැංකිය තුළ  ජලජ ශාක නොමැතිව තබා ගන්න කැමැති කෙනෙකුට මෙය ප්‍රයෝජනවත්. ඉතා කුඩා මසුන් රැන් වශයෙන් ඇති කිරීමට බලාපොරොත්තු වෙන අයට උදව්වක් වේවි.


✍පසුතල නිර්මාණයක් නොමැතිව තැබීම


මෙහිදී වාසි සහගත තත්වයකට වඩා අවාසි සහ සහගත තත්ත්වයන් දකින්න පුළුවන්. වීදුරුව හරහා අවට පරිසරය දැකීම නිසා අපිට මසුන් දර්ශනය වීම සීමා කරනවා වගේම බාධාවක්. ආලෝක කරණය කිරීමත් පහසු නැහැ. යම්කිසි ස්ථානයක මැද ස්ථානගත කරනවා නම් එහි වාසියක් ලබාගන්න පුළුවන්. නමුත් අරවානා මත්ස්‍යයන් සදහා tanning light භාවිතා කිරීමේදී වැඩි සාර්ථකත්වයක් ලබාගන්නන මේ අවස්ථාවේදී පුලුවන්.


✍සුදු පැහැති පසුතලය


මෙහිදී මසුන් ක්ෂණිකව දර්ශනය වීමට පහසුවක් ඇති කරයි නමුත් ස්වභාවික පෙනුම එයින් දුරස් වෙනවා. white tank treatment (WTT)කිරීම සඳහා නම් ඉතා ප්‍රයෝජනවත්. Cross back arowana high back red tail golden arowana, වැනි මසුන් සඳහා සුභ පසුතලය සහ ආලෝකකරණය තුළින් වුන්ගේ පැහැය තීව්‍ර කර ගන්න පුළුවන්.WTT මගින් සමහර polypterus වර්ග අල්ලාගත් ප්‍රදේශය (catch location) පිළිබඳ අවබෝධයක් ලබාගන්න පුළුවන්.Platinum මසුන්ගෙ කොරපොතු වල ඇති සුදු පැහැය දිලිසෙන මට්ටමකට ළඟාකර ගැනීමට සුදු පසුතලය ඉතා ප්‍රයෝජනවත්. උඩ යට ඒකාබද්ධ කළ ටැංකි ඔබට තියනවනම් යට ටැංකියට සුදු පසුතලයක් යෙදීම මගින් ඉක්මනින් මාළු දර්ශනය කිරීමට පහසුවක් ලබා දෙනවා.


👉☠සැලකිය යුතුයි!!


සමහර පසුතල වර්ණ සමග ආලෝක කරණය කිරීමෙන් පසු  ජලයෙහි රසායනික සංයුතිය වෙනස් වීමට පවා පුළුවන් මෙමගින් මසුන්ට ඉතා අහිතකර තත්ත්වයක් උදා වී මරණය පවා සිදුවෙන්න අවස්ථා අහන්න ලැබෙනවා. සමහර පසුතල පාට සහ ආලෝකකරණය නිසා මසුන්ගේ ශරීරයේ සමට සහ කොරපොතු වර්ණයට හානි සිද්ධ වෙන්න පුළුවන් ඒ ගැනත් අපි සැලකිලිමත් විය යුතුමයි. සමහර වර්ණ ගැලපෙන අයුරින් භාවිතා කලත් එය ආලෝකකරණය කළ පසු මසුන්ගේ සෙවනැල්ල දැකීමෙන් සමහර මසුන් වර්ග ආතතියට පවා ලක්වෙනවා. එවැනි අවස්ථාවල ඉක්මනින් එය වෙනස් කිරීම කළ යුතුමයි.මේ සඳහා ටැංකියේ පැති තුනක් ආවරණය කිරීම සුදුසුුයයි සමහර ප්‍රවීනයන් නිර්දේශ කරනවා.


✍සාමාන්‍යයෙන් අපිට මොනවද ටැංකියේ පතුලට යොදාගන්න පුලුවන්


කිසිවක් නොදා හිස්ව තැබීම, විවිධ වර්ණවලින් යුත් ගල් හෝ වැලි යොදා ගැනීම, ජලජ පැලෑටි වලින් ආවරණය කිරීම, කිරීම වගේ තව ගොඩක් දේවල් කරන්න පුලුවන්.


මෙහිදී ප්‍රධාන වශයෙන් අලංකාරය ගැන හිතනවා වගේම එදිනෙදා නඩත්තු කටයුතු සඳහා යන ශ්‍රමය සහ වියදම ගැන දෙපාරක් හිතන්නම ඕන. සමහර මාළු වර්ග වලට වැලි වර්ග අවශ්‍ය උනත් සමහර වර්ග වලට වැලි යෙදීම හානි දායක වෙන්න පුළුවන් comunity ටැංකි පවත්වාගෙන යන මේ ගැන කල්පනාකාරී විය යුතු කාරණාවක්. සමහර මසුන් අපි යොදන වැලි වල වර්ණය නිසා ඔවුන්ගේ නියම වර්ණය මැකී යන්න පුළුවන්. ගල් වර්ග වැඩිපුර පාවිච්චි කරනවා නම් ඇමෝනියා නිශ්පාදනය වීමට තියෙන සම්භාවිතාව වැඩි නිසා පිරිසුදු කිරීම් කටයුතු නිසි පරිදි කරන්න වගබලා ගත යුතුයි.ටැංකියේ පතුල හිස්ව තැබීම පිරිසුදු කිරීම් කටයුතු සඳහා පහසු වුණත් සමහර polypterus වැනි මසුන්ට එය හානි දායක වෙන්න පුළුවන්. අඳුරු පැහැයෙන් යුක්ත මසුන් සිටින ටැංකියක ටැංකියේ පතුලට ලා පැහැති substrate එකක් පාවිච්චි කිරීමෙන් අපට මාලුවා නිරීක්ෂණය කිරීමේ හැකියාව වැඩි වෙනවා. වර්ණවත් මසුන් සිටිනවා නම් තද පැහැයෙන් යුක්ත substrate එකක් යෙදීම මගින් මසුන් පැහැදිලිව දැක ගැනීමේ හැකියාව අපට ලබාගන්න පුළුවන්. ඉහත කී පරිදි පහසුවෙන් දැකගැනීමට හැකිවන පරිදි පමණක් substrate එකක් තෝරා ගැනීම උචිත නැහැ. එය මසුන්ගෙ සෞඛ්‍යයට තර්ජනයක් නොවන ලෙස තෝරා ගත යුතුයි.මේ වගේ අපි මෙතන කතා නොවෙච්ච බොහෝ කාරණා සහ අත්දැකීම් ඔයාලා ළඟත් ඇති. ඔයාලගේ ඒ අත්දැකීමුත් පහල comment section එකේ සමූහය අතර බෙදා ගන්නා ලෙස ආදරයෙන් ඉල්ලා සිටිනවා. ස්තුතියි!!!

No comments:

Post a Comment

Polypterus ආධුනිකයන් සඳහා

  ආධුනිකයන් සඳහා 👇 ඇයි මිනිසුන් විසින් අභිජනනය කරන ලද ඇතැම් polypterus මාළුන්ගේ වර්ගය හරියටම අදුරගන්න බැරි වෙලා තියෙන්නෙ.  1. සමහර මාළුන්ගෙ...