Thursday, September 16, 2021

මාළු කෑම කන එක නවත්තලා.




 




සමහර වෙලාවට බොහෝ දෙනෙක් මැසිවිලි නගනවා මාළු කෑම කන එක නවත්තලා ඒ මොකද කියලා.ලෝකේ ජීවත් වෙන අපි කාටවත් හැමදාම එකම විදිහට කෑම කන්න බැහැ කෑම කන්න බැරි දවස් තියෙනවා ඒත් එක දිගට දවස් කිහිපයක් නොකා ඉන්නවා කියන්නේ ඒක අවධානයට ලක් විය යුතු අවස්ථාවක්. ඒකට අනිවාර්යන්ම හේතුවක් තියෙන්නම ඕන. අපි දැන් කෙටියෙන් කතා කරමු මොනවද මේ හේතු වෙන්න පුළුවන් අවස්ථා කියලා.


✍️වතුර අපිරිසිදුභාවය සහ රසායන ද්‍රව්‍ය


වතුරේ ගුණාත්මකබව කියන්නේ මූලික අවශ්‍යතා වලින් එකක්. මසුන්ගේ මලපහ ආහාරයට නොගත් කෑම විශාල වශයෙන් වතුරේ ගුණාත්මකභාවය පහළ දමන කාරණා වෙනවා. විශේෂයෙන්ම මසුන්ගෙ මුත්‍රා විශාල ලෙස ඇමෝනියා මට්ටම ඉහළ යෑමට හේතුවක්. ඒ වගේම ටැංකියේ ජලයේ ගුණාත්මක බව වැඩි කිරීමට අප යොදන රසායන ද්‍රව්‍ය මගින් ඉතා සුළු වශයෙන් හෝ මසුන් ආතතියට පත් වෙනවා ඒ වගේම මසුන්ගේ ලෙඩ රෝග සදහා භාවිතා කරන බෙහෙත් වර්ග වලිනුත් මසුන් අනිවාර්යෙන්ම ආතතියට පත් වෙනවා. මේ වගේ අවස්ථාවල මසුන්ම කෑම ගැනීම ප්‍රතික්ෂේප කරනවා.

😂 නිකමට සිතන්න ඔයාට පිරිසිදු වාතාශ්‍රය නැති දුර්ගන්ධයක් සහිත කුඩා කාමරයක කෑම ගන්න පුළුවන්ද ඒ හැඟීමම තමයි මම මේ විස්තර කරලා තියෙන්නේ.

👌 ඉතින් බොහොම සරලයි බෙහෙත් වලට වියදම් ගන්නවට වඩා හොඳයි පොඩි ගානක් වියදම් කරලා ෆිල්ටරේ හරියට හදාගන්න හරියට වෙලාවට වතුර මාරු කරලා නඩත්තු කටයුතු කරන්න. ඇන්ටි ක්ලෝරීන් එකක් වෝටර් කන්ඩිෂනර් පාවිච්චි කරන්නම ඕන කියලා නීතියක් නැහැනේ මේ දේවල් හැකි සෑම විටම ස්වභාවික ක්‍රමයට හරිගස්ස ගන්න පුළුවන්. බෙහෙත් පාවිච්චි කරන වෙලාවට අනිත් මාළු ගැන හිතලා භාවිතයට ගන්න.


✍️නිවැරදි කෑම නිවැරදි මාළුවාට නොදීම

ශාක භක්ෂක, මාංශ භක්ෂක, සර්ව භක්ෂක කියලා මසුන් කොටස් තුනක් ඉන්නවා කියන අපි හැමෝම දන්නවා. ඉතිං ඒ විවිධ වූ මාළු වර්ග වල මසුන්ගේ අවශ්‍යතාවයන්ට ගැලපෙන ලෙස හදපු කෑම වර්ග අද වෙළඳපොලේ ඕනතරම් ගන්න තියෙනවා. මීට අමතරව අපට ස්වභාවිකවත්  කෑම  ගැලපෙන විදියට දෙන්න පුළුවන්. මාංශ භක්ෂක මසුන්ගේ පෝෂණ අවශ්‍යතා ශාක භක්ෂක මසුන් ගේ පෝෂණ අවශ්‍යතාවන්ට වඩා හාත්පසින්ම වෙනස්.ඉතින් නිවැරදි කෑම නොලැබුණොත් කොහොමත් මාලු කෑම කන එක ප්‍රතික්ෂේප කරනවා. අකමැත්තෙන් හරි කෑවත් මාලුවා මන්දපෝෂණය නිසා කාලයක් යද්දි දුර්වල වෙනවා.

😂 නිකමට හිතන්නකෝ ඔයා කවදාවත් කන්න අකමැති කෑම විතරක්ම ඔයාට කන ලැබුණොත් ඔයාට මොකද හිතෙන්නේ කියල.

👌 මාළු වර්ග කිහිපයක් එක ටැංකියක ඇති කරනවානම් ආහාර දීම අතින් ගැලපෙන මාළු විතරක් යොදා ගැනීම මේ තත්ත්වය මඟ හරවා ගන්න උදව්වක් වේවි.


✍️ජලයේ උෂ්ණත්වය අවශ්‍ය මට්ටමේ නොතිබීම සහ ජල පරාමිතීන් අනවශ්‍ය ලෙස වෙනස් කිරීම.

ශීත පරිසරයක ජීවත් වෙන මසුන් සහ උණුසුම් පරිසරයක ජීවත් වන මසුන් ප්‍රධාන වශයෙන් කොටස් දෙකක් ඉන්නවා. නිවැරදි උෂ්ණත්වය ඒ මසුන්ගේ ආහාර දිරවීමට සහ ආතතිය අවම වීමට හේතුවක්. මේ වගේ අවස්ථාවන්වලදී මසුන් කෑම ගැනීම ප්‍රතික්ෂේප කරනවා.

😂 කට්ට අව්වේ පිට්ටනියක් මැද වාඩි කරල කෑම කන්න කිව්වම දාඩිය පෙරාගෙන අපිට කෑම කන්න පුලුවන්ද ඒ වගේ තමයි.


1.උෂ්ණත්වයන් පහළ යාම 

මිනිසුන්ට වගේ මසුන්  තමන්ගේ ශරීරයේ අභ්‍යන්තර උෂ්ණත්වය නියාමනය කරන්න බැහැ. උෂ්ණත්වය පහළ යාම මසුන්ට ඉතා පීඩාකාරී තත්ත්වයක් ගෙන දෙනවා.මේ වගේ අවස්ථාවන් වල මාළු ඉතා උදාසීන ලෙස ටැංකියේ කොනකට වෙලා ඉන්නවා දකින්න පුළුවන්.


2.උෂ්ණත්වය ඉහළ යාම

ජලයේ උෂ්ණත්වය ඉහළ යෑමෙන් ජලයේ දියවූ ඔක්ෂිජන් මට්ටම පහළ යනවා. ඉන්පස්සේ සිදු වෙන දේ අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ ශ්වසනය කිරීමේ සංකූලතා ඇතිවීම නිසා ආතතියට පත්වන මාළුවා කිසිසේත්ම ආහාර ගන්නේ නෑ වගේම ආහාරයට ගත් කොටස් ජීරණය කිරීමටත් අපහසු වෙනවා.


3.විශේෂයෙන්ම ph අගයේ විශාල වෙනස්කම් බොහෝ මසුන්ට දරාගන්න අමාරුයි. බොහෝ විට මෙය මසුන් මිය යෑමට පවා හේතුවක් වෙනවා. මේ වගේ අවස්ථාවක් ඇති වුනොත් මසුන්ට ඒකට හැඩගැහෙන්න මසුන්ට කාලයක් ගත වෙන්න පුළුවන් ඒක හරියට ෂොක් එකක් වගේ. මේවගේ අවස්ථාවලදී මසුන් ආහාර ගැනීම අනිවාර්යයෙන්ම ප්‍රතික්ෂේප කරනවා.


✍️නින්ද සහ ආතතිය

අනිත් සතුන් වගේම මත්ස්‍යයනුත් නිදාගන්නවා මේ විවේකය නොලැබෙන කොට ස්වභාවිකම ඕනම කෙනෙක් ආතතියට පත් වෙනවා. ආතතිය කියන්නේ විශාල මාතෘකාවක් ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු අවශ්‍ය නම් ඒ පිළිබඳ ලියූ පෙර ලිපිය කියවන්න. මේ වගේ අවස්ථාවලදී මසුන් කෑම ගැනීම ප්‍රතික්ෂේප කරනවා.

😂 කෙනෙක් කිව්වොත් පාර මැද්දෙ නිදාගන්න කියලා අපිට කවදාවත් ඒක කරන්න බැහැ අන්න ඒ වගේ තමයි.

👌 ආතතියට පත්වන සියළුම කාරණා මැනවින් නිරීක්ෂණය කරලා ඒ සඳහා ටැංකිය සිදුවිය යුතු වෙනස්කම් සිදු කරන්න ඕන.


✍️ලෙඩ රෝග, බෝවන, බෝනොවන viruses, bacteria, protozoa, worms, crustacea, fungi 


පොදුවේ ගත්තොත් බැක්ටීරියා හෝ පරපෝෂිත ආසාදන සතුන්ට වැලඳෙන්න පුළුවන්. ආසාදිත බොහෝ මසුන් ආහාර ගැනීම අනිවාර්යෙන්ම ප්‍රතික්ෂේප කරනවා. මේක බෝවන රෝග තත්ත්වයක් නම් white spot disease, fish lice)  ඉක්මනින් ඒ සඳහා ප්‍රතිකර්ම සඳහා ක්‍රියාත්මක විය යුතුයි.


✍️ආහාරයට නොගත් කෑම කොටස්


මේක බොහෝ විට සිදු වන්නේ අනවශ්‍ය ලෙස කෑම ලබා දීම නිසා. මිනිස්සු තේරුම් ගන්න ඇති දෙයක් තමයි අපි මසුන්ට ලබා දෙන්නේ ඉතා පෝෂණයක් සහිත ආහාර නම් උවමනාවට වඩා ලබා දීම තේරුමක් නැහැ. මොකද අවශ්‍ය ප්‍රමාණය ශරීරයට උරාගෙන ඉතිරි ප්‍රමාණය මළ ද්‍රව්‍ය විදියට බැහැර වන නිසා. ඊට අමතරව කාපු නැති කෑම ටැංකියේ හැම තැනම තියෙනවා කියන්නේ ඇමෝනියා මට්ටම ඉහළ ගිහින් වතුර සවුත්තු වෙනවා කියන එක හොඳ ෆිල්ටරයක් තිබ්බත් සමහර වෙලාවට මේ තත්ත්වය පාලනය කරන්න බැරි වෙන්න පුළුවන්.අන්තිමට ලෙඩ රෝග බැක්ටීරියා ආසාදන වලට ගොදුරු වෙනවා. ආහාරයට නොගත් කෑම කොටස් ටැංකිය පතුලේ සහ ජල ස්ථරයේ පාවෙමින් තිබීම මසුන්ට ආහාර ගැනීමට ඇති විශ්වාසය නැතිවෙලා යනවා.මේ වගේ අවස්ථාවන් එකකට එකක් සම්බන්ධ වෙලා තියෙන්නෙ.මේ තත්ත්වයන් වළක්වා ගත්තොත් මසුන් කෑම නොකා ඉන්න එකක් නැහැ .


✍️ පැටවුන් බිහිකිරීමට ආසන්න කාලයේදී

 

මේ අවස්ථාවේදීත් ගැහැනු පිරිමි සතුන් දෙදෙනාම ආහාර ගැනීම ප්‍රතික්ෂේප කරන්න පුළුවන්.විශේෂයෙන්ම පළමු වර පැටව් බිහි කරන අවස්ථාවේදී. මේ සුවිශේෂී අවස්ථාවන්හිදී මසුන් වැඩිපුර ආතතියට පත් වෙනවා වගේම ඔවුන් වැඩිපුර වෙහෙසෙන්නේ පැටවුන්ගේ ආරක්ෂාව සඳහායි. මේ සඳහා අපිට ඔවුන්ගේ ආරක්ෂාව තහවරු වන ලෙස ටැංකිය setup කරල දෙන එක තමයි කරන්න පුළුවන්. හැබැයි මේක පැටව් බිහි කරන්න කාලෙකට කලින් කරල තියන්න ඕන.ටැංකිය තුළ සිදු කරන හදිසි වෙනස් කිරීම් මසුන්ගේ ආහාර ගැනීම තාවකාලිකව අත්හිටුවීමට හේතුවක් වෙනවා.


✍️ ලිංගිකව එක් වීමට සහකරුවෙක් සොයා ගන්නා අවස්ථාවේදී


මේ කාලයේ මසුන්ගේ මානසික සහ ශාරීරික තත්ත්වය ඉතා ඉක්මනින් වෙනස් වෙනවා. ඔවුන්ට ආහාර ගැනීමට වඩා සහකරුවන් සොයාගනීම සහ ආරක්ෂා කිරීම වගේ දේවල් වලට මූලිකත්වය දෙනවා.මේ සමයේදී ආහාර ගැනීම බොහෝවිට මග අරිනවා. මේ අවස්ථාවේදී අනවශ්‍ය ලෙස අපි කෑම ලබා දීමට උත්සහ කිරීම ඔවුන්ට කරන අනවශ්‍ය බලපෑමක් වෙනවා වගේම කෑම ගැනීම තව කාලයක් යනකන් ප්‍රමාද වෙන්නත් පුළුවන්.


✍️ ටැංකියේ සිටින අනෙකුත් මසුන් සහ ටැංකියේ සෙට් අප් එක වෙනස් වීම


සමහර මසුන් ටැංකියේ පොඩි පොඩි වෙනස්කම් කිරීමෙන් පස්සේ කෑම ගැනීම ප්‍රතික්ෂේප කරනවා.(අලුත් පැළයක්, කොටයක්, වැලි ටිකක්)


සමහර වෙලාවට අනෙක් මසුන්ට ඇති බය නිසා සහ සැඟවී සිටීමට ආරක්ෂිත තැන් නැති කම නිසා මසුන් කෑම ගැනීම ප්‍රතික්ෂේප කරනවා අපිට දකින්න පුළුවන්.


🆗🆒 සාමාන්‍යෙන් ආහාර නොගැනීමට හේතුව හිතාගන්න බැහැ වගේ අවස්ථාවල පොඩි පොඩි ගොඩ වෙදකම් ටිකක් කරල බලන්න පුළුවන්


*10-20% පොඩි වෝල්ටර් චේන්ජ් එකක් දීම

*micanical filteration එක පිරිසිදු කිරීම

*deworming කරල නැත්නම් කරන්න පුළුවන්

*live feed කරල බලන්න පුළුවන් (Oreochromis niloticus) කාණ්ඩයට අයත් මසුන් ඉතා යෝග්‍ය බව පරීක්ෂණවලින් ඔප්පු වෙලා තියෙනවා.

*‍ අවශ්‍යතාවය අනුව සුදුසු ලෙස ජලයේ උෂ්ණත්වය ඉහළ දැමීම සහ හොඳ ඔක්සිජන් සැපයුමක් ලබා දීම.

*ආහාර ගැනීම පටන් ගත්තා නම් garlic gard එකක් පාවිච්චි කරලා ආහාර රුචිය වැඩි කරන්න පුළුවන්.


මේ ලිපියේ මගහැරුනු කරුණු තියෙන්න පුළුවන් ඔයාලගේ අත්දැකීම් comment section එකට එකතු කරන්න එතකොට පුළුවන්  ඔබ එකතු කළ ඒ කරුණුත් මේ ලිපියට එකතු කරන්න. ස්තුතියි!!!

No comments:

Post a Comment

Polypterus ආධුනිකයන් සඳහා

  ආධුනිකයන් සඳහා 👇 ඇයි මිනිසුන් විසින් අභිජනනය කරන ලද ඇතැම් polypterus මාළුන්ගේ වර්ගය හරියටම අදුරගන්න බැරි වෙලා තියෙන්නෙ.  1. සමහර මාළුන්ගෙ...