Monday, March 14, 2022

Polypterus ආධුනිකයන් සඳහා

 



ආධුනිකයන් සඳහා 👇


ඇයි මිනිසුන් විසින් අභිජනනය කරන ලද ඇතැම් polypterus මාළුන්ගේ වර්ගය හරියටම අදුරගන්න බැරි වෙලා තියෙන්නෙ. 


1. සමහර මාළුන්ගෙ වයිරම් රටා අක්‍රමවත්ව පිහිටල තියෙන නිසා අපිට හරියටම වර්ගය කුමක්ද කියන අදුරගන්න බැරි අවස්ථා තියෙනවා


 2.සමහර මසුන් ගේ මෙම වයිරම් රටා සහ වර්ණ අඩුවෙන් තිබීම නිසාත් අපිට වර්ගය කුමක්ද කියල අඳුරගන්න බැරි අවස්ථාව තියෙනවා


3.සමහර මාළු විකුණනකොට කියන වර්ගය නෙමෙයි ලොකු වෙනකොට ඉතිරි වෙන්නේ. මාළු විකුණන කෙනාට ඇඟිල්ල දික් කරන එක තේරුමක් නැහැ


4. Hybrid කරනයට ලක්වීම නිසා මසුන් වර්ග කිහිපයක ලක්ෂණ පිහිටීම නිසාත් හරියාකාරව හඳුනා ගැනීමට නොහැකියාවක් ඇතිවෙන්න පුළුවන්.සමහරු තමන් ළඟ සිටින මසුන් කුමන වර්ගයකට අයත් දැයි ඇසූවිට දේශීය විදේශීය ප්‍රවීණයන්ට පවා පිළිතුරු නැතිව යන අවස්ථා ඕන තරම් දකින්න පුළුවන්.


👉. මහාපරිමාණයෙන් බොහෝ මත්ස්‍ය වර්ග අභිජනනය කිරීමට ප්‍රසිද්ධ රටක් තමයි ඉන්දුනීසියාව. ඔවුන් විවිධ අත්හදා බැලීම් කරමින් මහා පරිමාණයෙන් මුදල් හම්බ කිරීමේ වෑයමක නිරත වෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස හෝමෝන යොදාගෙන මහා පරිමාණයෙන් බෝ කිරීම නිසා විවිධ වූ අඩු පාඩු සහිතව හෝ විකෘති මසුන් වෙළඳ පොලට එනව. සමහර වෙලාවට මේ අඩුපාඩු සහිත මාළුන්ට විශේෂ මිලක් හෝ අධික මිලක් නියම වෙනවා උදා- short body,semi short body, albino, Long feather fins 


ස්වභාවික පරිසරයෙන් අල්ලා ගන්නා ලද මසුන් ට ජාත්‍යන්තරයේ දී WC (wild caught) එසේත් නොමැති නම් F0 යනුවෙන් හඳුන්වනවා. F0 ලෙස හඳුන්වන්නේත් කෙලින්ම ස්වභාවික පරිසරයෙන් අල්ලාගත් මසුන් සඳහා ම තමයි.


මෙසේ අල්ලාගත් F0 මසුන් F0 මසුන් සමග අභිජනනය කිරීමෙන් පසු ලැබෙන පැටවුන් WF1 ලෙස හඳුන්වනවා (F0×F0 -WF1)


WF1එකිනෙකා අභිජනනය කිරීමෙන් ලැබෙන මට පැටවුන් WF2 ලෙස හඳුන්වනවා WF1×WF1 -WF2


WF2 මසුන් එකිනෙකා අභිජනනය කිරීමෙන් ලැබෙන පැටවුන් WF3 ලෙස හඳුන්වනවා (WF2×WF2 -WF3)


මේ විදිහට පරම්පරා කීපයක් ඉදිරියට යන විට ඔවුන්ගේ පෙනුම ,හැසිරීම වෙනස් වෙනවා ඒ වගේම ඔවුන්ගේ ශක්තිමත් භාවය, ලෙඩ රෝග වලට ඔරොත්තු  දීමේ හැකියාව, ආයු කාලය අඩු වෙනවා.කොටින්ම කිව්වොත් සෞඛ්‍ය තත්ත්වය පිරිහී යනවා. මෙහෙම වෙන්නේ ඔවුන්ට ස්වභාවික පරිසරයේ දී වගේ ලැබිය යුතු ආහාර සහ අනෙකුත් පාරිසරික සාධක නොලැබී යාම. 


පරීක්ෂණවලින් ඔප්පු වෙලා තියෙනවා බොහෝ කාලයක් මින් මැදුරක් තුළ ජීවත් වන WF0 මසුන් පවා මේ වෙනස්කම්වලට භාජනය වෙන බව ඇතැම් මසුන්ගෙ බාහිර  ස්වරූපය පවා මේ විදිහට වෙනස් වෙන බව පැවසෙනවා. කෙසේ වෙතත් CB (Captive breed) ඇති කරන්න බලාපොරොත්තු වෙන කෙනෙකුට දෙන්න පුළුවන් උපදෙසක් තමයි පුළුවන් තරම් F0 මසුන්ට සමානකම් දක්වන WF1 සතුන් මිලදී ගැනීම. එමගින් පෙර සදහන් කරපු බොහෝ දේවල් අවම කර ගන්න පුළුවන්. අඩුම තරමේ අඟල් හතක් පමණ විශාල වූ පසු මත්ස්‍යයාගේ අඩුපාඩු හොඳින් බලා මිලදී ගන්න පුළුවන්, ඔබ හයිබ්‍රිඩ් මසුන් ඇති කරන්න ප්‍රිය කරන කෙනෙක් නම් එම මසුන් අභිජනනය කිරීමට යොදාගත් මවු සතුන් මොනවා දැයි යන්න පිළිබඳ හොඳ අවබෝධයක් ලබාගත යුතු බව. අන්තර්ජාලය හරහා හෝ මසුන් පිළිබඳ දැනුමක් ඇති අයකුගෙන් විස්තර අසා දැනගෙන හෝ F0 මසුන්ගේ ඡායාරූප සමග ඔබ මිලදී ගන්නා මත්ස්‍යයා සංසන්දනය කිරීමෙන් පසු මිලදී ගැනීම වගේ ක්‍රම ආධුනිකයන්ට යොදාගන්න පුළුවන්. නමුත් මේ ලිපිය කියවීමෙන් පසු තමන් ළඟ ඉන්න මසුන්ගේ අඩුපාඩු තිබෙනවා කියලා දැනුනොත් කලබලේ විකුණන්න හදන්න එපා. මොකද මාලුවෙකුටම  ආවේණිකවූ ලස්සනක් තියෙනවා.😊

Sunday, March 13, 2022

Polypterus මාළුව ගේ ටැංකිය setup කරන්නෙ කොහොමද????

 Polypterus මාළුව ගේ ටැංකිය setup කරන්නෙ කොහොමද කියල සාමාන්‍ය අවබෝධයක් ලබා ගමු


❤සැ.යු - මෙම ලිපිය වැදගත් වන්නේ polypterus මාළු විශේෂය සඳහාම වෙන්වූ ටැංකියක් නිර්මාණය කිරිම සඳහා හෝ ටැංකියේ සිටින ප්‍රධාන මත්සයා polypterus යයි අදහස් කරන්නෙකුට පමණකි.


👉 අඩි 5x2x2 තරමේ වත් ටැංකියක් මෙයාලා වෙනුවෙන් වෙන් කරන්න බැරි නම් polypterus හදන එක තේරුමක් නැහැ.


👉පසුතලය සඳහා මොන වගේ පාටක් සුදුසුද?


මේ සඳහා මගේ කලින් බැක්ග්‍රවුන්ඩ් සඳහා ලියපු ආර්ටිකල් එක කියවා අවබෝධයක් ලබාගන්න. Polypterus මසුන් සිටින ටැංකියක පසුතලයට කළු සහ නිල් වර්ණය වඩාත් සුදුසුයි. නිල් පැහැති වර්ණය යොදා ගන්නවානම් ලා නිල් වර්ණය යොදාගැනීම සුදුසුයි.


👉ටැංකිය තුළ ගස් වැවීම සුදුසුද?


ටැංකිය තුළ ගස් වැවීම ටැංකියේ අලංකාරය , මසුන්ගේ ශරීරයේ ඇති වර්ණ අලංකාර වැඩිදයුණු වීම සහ මාළුන්ගේ සෞඛ්‍ය තත්වය ,වතුරේ ගුණාත්මක භාවය ඉහළ දැමීමට ,ස්වභාවික පරිසරයක මෙන් අලංකාරයක් ලැබීමට හේතුවක් වුණත් පිරිසිදු කිරීමේ කටයුතු සඳහා වැඩි‍ පරිශ්රමයක් යෙදීමට සිදු වේවි. නෙළුම් කොළ වැනි විශාල පත්‍ර සහිත ගස් වැවීම සුදුසු නැහැ මොකද ජලය මතුපිට එයින් ආවරණය වෙලා යනවා ඒක ඔවුන්ට හුස්ම ගැනීමට බාධාවක්.




👉කොට කෑලි තැබීම සුදුසුද? 


ටැංකියතුළ කොට කෑලි තැබීම අවදානම් සහිතයි. විශේෂයෙන්ම කුඩා ඉඩකඩ සහිත ටැංකියක කොට කෑලි තැබීම මගින් හදිසියේ කලබල වූ අවස්ථාවකදී මෙම මසුන් ඒ මේ අත පිහිනා යාමේ දී ඔවුන්ගේ ශරීරය ඒවායේ ගැටීමට පුළුවන්. උදා -ටැංකිය අසලින් අප ගමන් කරන විට,

ටැංකියේ lights on කරන අවස්ථාවේදී, අපි ටැංකියට අලුතින් මත්ස්‍යයන් හඳුන්වා දෙන අවස්ථාවේදී, ටැංකිය පිරිසුදු කරන අවස්ථාවේදී, මේ ආදි වශයෙන් ක්ෂණිකව සිදුවන ඕනෑම වෙනස් වීමකදී  මේ වගේ කලබලයක් ඇති වන පුළුවන් එවිට ඔවුන් ක්ෂණිකව ප්‍රතිචාර දක්වන්නෙ හැකිතාක් ඉක්මනින් ඔවුන් සිටින ස්ථානයෙන් ඉවතට වේගයෙන් පිහිනා යාම මගින්. මේ අවස්ථාවකදී ඔවුන්ගේ හිස කොටයක් වැනි රළු පෘෂ්ඨයක ගැටීම තුළින් ක්ෂණික මරණය පවා ඇති වෙන්න පුළුවන්. නමුත් තරමක් විශාල ඉඩ ඉඩක් ඇති ටැංකියක මේ අවදානම අඩුයි(10x3x2 පමණ විශාල ටැංකියක හෝ පොකුණක). කොට කැබලි භාවිතා කරනවා නම් ටැංකියේ ජලය මට්ටම ආසන්නයි එල්වා තැබීම කරන්න පුළුවන් මෙයින් ටැංකිය පතුලේ ඇති ඉඩකඩ උපරිම ලෙස ඔවුන්ට ලබා දෙන්න හැකියාව ලැබෙනවා.


👉 ටැංකි ඉතා හොඳින් ආවරණය කිරීම අත්‍යවශ්‍ය කාරණයක්. මෙයින් මත්ස්ය ටැංකිය න් එලියට පනින එක වලක්වා ගන්න පුළුවන්. මතුපිට වාතය ආශ්වාස ප්‍රාශ්වාස කරන නිසා. ඒ සඳහා ඔවුන්ට හැකි වන අයුරින් ටැංකියේ වහලය සකස් කළ යුතුයි.එය සිදුරු සහිත ප්ලාස්ටික් දැලක් වැනි යමකින් ආවරණය කිරීම වාසි සහගතයි. මොකද යම් අවස්ථාවක ඔවුන් එලියට පැනීමට උත්සාහ කළොත් ඉතා තද පෘෂ්ඨය කින් වහල සවි කර තිබුනොත් ඔවුන් වහලයේ වැදි තුවාල සිදු කර ගන්න පුළුවන්. ඒ වගේම පිටත වාතයට ජල ස්ථරය නිරාවරණය කර තැබීමෙන් ජලයේ ගුණාත්මක බව පවත්වා ගැනීමට හේතුවක් වේවි.


👉පොකුණක් තුළ polypterus මසුන් ඇති කරන්න පුලුවන්ද?


අනිවාරයන් පුළුවන් නමුත් වර්ෂා ජලය පොකුණේ ජලය සමඟ මිශ්‍ර වීම අවදානම් සහිතයි අනිවාර්යෙන්ම ආවරණයක් යෙදීය යුතුමයි. මේකට හේතුව තමයි වර්ෂා ජලයේ pH අගය ඉතා පහළ මට්ටමක තිබීම. වර්ෂා ජලයෙ නොයෙක් විෂ රසායන ද්‍රව්‍ය මිශ්‍ර වී තිබීමට පුළුවන්. තවද වර්ෂා ජලය එකතු වීමෙන් වතුරේ පරාමිතික අගය ක්ෂණිකව වෙනස් කිරීම මාළුන්ට කිසිසේත්ම හිතකර වන්නේ නැහැ, ආවරණයක් නොකල පොකුණක පිරිසිදු කටයුතු ඉතා අමාරුයි අනවශ්‍ය ඇල්ගී වැනි ජලජ ශාක ඉතා ඉක්මනින් පැතිරී යන්න පුළුවන්.


👉පතුළට මොනවද දාන්න පුළුවන් ?


මේ සඳහා ජනප්‍රියම සහ වඩාත්ම සුදුසු දේ වන්නේ රතු, රෝස ,දම් වර්ණයන්ගෙන් යුත් ගානට් වැලි විශේෂ, Ocean free bio gravel හෝ කෘතිමව නිෂ්පාදනය කරන ලද රතු පැහැයෙන් යුත් වැලි වර්ග.කෙනෙක් ඇහුවොත් මේ වැලි කැටයක ප්‍රමාණය කොතරම් විශාල විය යුතුද කියලා. ලේසියෙන්ම කියන්න පුළුවන් වැඩුණු polypterus මත්ස්‍යයකුගේ ඇසේ ප්‍රමාණයෙන් හරි අඩක් පමණ විශාල ප්‍රමාණයේ වැලිකැට යෙදීම සුදුසු කියලා. එය සම්පූර්ණයෙන් පතුල වැසී යන තෙක්  දැමීම අත්‍යවශ්‍ය නැහැ. එසේ හැකි නම් එය ටැංකියේ අලංකාරයට හේතුවක් වේවි.


👉මුහුදු වැලි ,ගඟේ වැලි, යොදන්න පුලුවන්ද


කිහිප වරක් සෝදා වියළා ගැනීමෙන් පසුව භාවිතා කිරීමට පුළුවන් නමුත් කිසිසේත් ම සාර්ථක නැහැ. ඊට හේතුව මෙම වර්ග ගණනාවකින් යුක්ත polypterus මත්ස්‍යයන්ට ඔවුන් ඔවුන්ට ආවේණික වර්ණ රටා තියනවා. සුදු පැහැයට හුරු මෙම වැලි වර්ග යෙදීමෙන් බොහෝ වර්ග වල මසුන්ගේ ඇති වර්ණවත් ශරීර වර්ණය මැකී යනවා. තවත් අවාසිය තමයි මෙවැනි වැලි වර්ග , උළු කැට කැබලි ගඩොල් කුඩු වැනි දේවල් යෙදීමෙන් pH අගය සහ ජලයේ ගුණාත්මක භාවය. වෙනස් වීමකට ලක්වෙන්න තියෙන ඉඩකඩ වැඩියි.


👉කළු පාට වැලි හොඳයිද


කළු පාට වැලි හැමෝම වර්ග වල polypterus අයට හරියන්නේ නැහැ විශේෂයෙන්ම lower jaw අයට. මෙමගින් මසුන්ගේ ශරීරයේ ඇති කොළ පැහැය ඉස්මතු කර ගන්න කළු පැහැති වැලි යෙදීම වැදගත් වෙනවා. නමුත් විවිධ වර්ග වල මසුන්ගේ සමෙහි ඇති විවිධ රේඛා සහ වර්ණ රටා සෑම දෙයක්ම කළු පැහැති රැලි යොදාගැනීමෙන්  මතු කරගන්න බැහැ. ඒ වගේම අඳුරු පැහැයක් එමගින් මසුන්ට ලැබෙනවා. රතු පැහැති වැලි යෙදීම තරම් සාර්ථක තවත් ක්‍රමයක් නැහැ.


👉 මීට අමතරව තව ඉතා සාර්ථක ක්‍රමයක් තමයි 50%රතු වැලි 30%කළු වැලි20% දුඹුරු වැලි කවලම් කර ටැංකි පතුලට දැමීම මෙය ඉතාමත් සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න පුලුවන් ක්‍රමයක් වගේම විවිධ මසුන් වර්ග වල ඇති විවිධ ශරීර වර්ණයන් සෑම දෙයක්ම තීව්‍ර කිරීමේ හැකියාව මෙයට තියෙනවා.


👉 ටැංකිය පතුළ හිස්ව තැබීම සුදුසුද


ටැංකිය පතුළ හිස්ව තැබීම අවදානම් සහිතයි. වැලි වර්ගයක් නොතිබීම නිසා මෙම මසුන්ට ඝර්ෂණ හැකියාව ලැබෙන්නේ නැහැ එමගින් වේගයෙන් පිහිනා යන අවස්ථාවකදී ඔවුන්ට පාලනය ගිලිහී ගොස් හිස ටැංකියේ විදුරුවේ වැදී මිය ගිය අවස්ථා අපි අසා තියෙනවා. එම ඝර්ෂණ හැකියාව වැඩි කිරීමට ආරක්ෂිත පිළියමක් ලෙස වැලි යොදා ගැනීම කරන්න පුළුවන්.ටැංකිය පතුළ හිස්ව තැබීමෙන් පිරිසුදු කිරීමට පහසුවක් වෙනවා. අනෙක් අවාසිය තමයි මාලුන්ගෙ වර්ණයන් මැකීයාම අනිවාර්යෙන් සිදුවෙනවා.


👉 වැලි යොදා ගන්නැතුව වෙන කිසිම ක්‍රමයක් නැද්ද මාලුන්ගේ ස්වභාවික පාට මතු කරගන්න.


රතුපාට tiles ටැංකියේ පතුලට යෙදීම. මෙමගින් ටයිල් කැට යට ආහාර කැබලි මලපහ වැනි ද තැන්පත් වී විවිධ අහිතකර බැක්ටීරියා වර්ග ජනනය වීමට ඉඩකඩ තියෙන නිසා ඒ ගැන සැලකිල්ලක් දක්වන්න ඕන.ටැංකියේ පතුල රතු වර්ණය ආලේප කිරීම හෝ ස්ටිකරයක් ඇලවීම. මෙයින් මසුන්ට අවශ්‍ය ඝර්ෂණය ලබා දීමට නොහැකි නිසා වාසිදායක තත්ත්වයක් තියෙනවා.


👉 gravel වර්ග යෙදීම සුදුසුද?


Polypterus හදන අයට ටැංකියේ පතුලට gravel දාන්න එපා කියන්නේ මෙන්න මේ හේතුව නිසා. මෙයාල කෑම කන වෙලාවට suction power එක නිසා හෝ වැරදීමකින් සමහර වෙලාවට මේවා ගිලින්න වැඩි ඉඩකඩක් තියෙනවා.( කැඩී ගිය කොට කැබලි,ඉස්සො පොතු,කුඩා ගල් කෑලි ) මෙච්චර විශාල නොදිරවූ දෙයක් ගුද මාර්ගයෙන් නැවත එලියට ගන්න හැකියාවක් නැහැ එම නිසා මාලුව මිය යනවා.


Polypterus මසුන් community  කරන්නේ කොහොමද?

🙃Polypterus මසුන් කියන්නේ අනෙකුත් මසුන්ට දරුණු ලෙස එළව එළවා පහර දෙන සතුන් නෙමෙයි. නමුත් ඔවුන් කුසගිනි වූ විට ඔවුන්ට ගිල දැමිය හැකි ඕනෑම දෙයක් ගිල දැමීමට පසුබට වන්නේ නැහැ.

🙃 සමහර snakehead වර්ග, සමහර විශාල catfish වර්ග, මඩුවන් වර්ග, pleco වර්ග සහ අනෙක් මසුන්ට දරුණු ලෙස පහර දෙන විලෝපික මසුන් polypterus මසුන් සමග එකට ඇති කිරීම නුවණට හුරු නැහැ.

🙃 පොලී මසුන් ඇති කරන ටැංකියේ setup එකට ගැලපෙන වර්ගයේ මසුන් තෝරා ගැනීමත් වැදගත්. මොකද ප්‍රධාන වශයෙන් substrate එකේ වර්ණය සහ background එකේ වර්ණය හැම මසුන්ට ම ගැලපෙන්නෙ නැති නිසා.

🙃 පොලී මසුන් සමග ඇති කරන මසුන් පිළිබඳ තව විශේෂ කාරණයක් සැලකිල්ලට ගත යුතුය  polypterus යනු ටැංකියේ පතුලෙහි ජීවත් වන මසුන් කොටසක් ඔවුන්ට බාධාවක් ,තරගයක් නොවන අයුරින් කෑම ලබා දිය හැකි මසුන් වර්ග තෝරා ගැනීම නුවණට හුරු වේ. විශේෂයෙන්ම over feed  වගේ දේවල් අනිවාර්යෙන් අවම කරගන්න ඕන

🙃 ඒ වගේම polypterus මසුන්ට රෝග ඇතිවූ අවස්ථාවන්වලදී භාවිතා කරන බෙහෙත් වර්ග වලට අතිශය සංවේදී නොවන මසුන් වර්ග තෝරා ගැනීම ඔබට එවැනි අවස්ථාවක් සිදුවුවහොත් මුහුණදීමට පහසුවක් වේවි.


👉 කෙනෙකු කියන්න පුළුවන්ද ඉහත සදහන් කරපු කාරණා වලට හාත්පසින්ම වෙනස් විදියට මාළු ගොඩක් කල් ඇති කරලා කිසිම ප්‍රශ්නයක් වුණේ නැහැ කියලා. මම මෙතන කියන්න උත්සාහ කරන්නේ කිසිම අවදානමක් ගන්නැතුව හරියටම polypterus මසුන් ඇති කරන්න කරන්න ඕන මොනවද නොකරන්න ඕන මොනවද කියල විතරයි. නිවැරදි ආරම්භයක් නොගත්තොත් මැද හරි ගියාට අග වරදිනවා ☠

Saturday, March 12, 2022

Polypterus මාළුවාට කන්න දෙන්නේ කොහොමද?

 



Polypterus මාළුවාට කන්න දෙන්නේ කොහොමද?


නිශ්චිතව නිවැරදි යයි කිව හැකි හරි හෝ වැරදි ආහාර දීමේ ක්‍රමවේදයක් නොමැත.


විවිධ විශේෂ හා වයස් කාණ්ඩ සඳහා විවිධ මේද සංචිත සහ පෝෂ පදාර්ථ විවිධ මට්ටම් වලින් අවශ්‍ය වේ එය ඔබ පෝෂණය කරන දේ මත ද රඳා පවතී.


ඉතා කුඩා අවදියේ දී සාමාන්යයෙන් දිනපතා පෝෂණය අවශ්‍ය වේ (කුඩා ප්‍රමාණයේ ආහාර වේල් කිහිපයක් ) සිහින් ශරීර සහිත   P. teugelsi and P. retropinnis වැනි විශේෂ වලට ඉහළ පරිවෘත්තිතී හැකියාවක් ඇති නිසා ඔවුන්ට වැඩි ආහාර වේල් ප්‍රමාණයක්ම දිම වරදක් නැත. මන්දගාමී පරිවෘත්තීයතාවයක් ඇති අනෙකුත් විශේෂයන්ට සතියකට වරක් හෝ දෙවරක් කෑම ලබාදීම ප්‍රමාණවත්.


මගේ අත්දැකීම් අනුව  දිනපතා ආහාර දීමද කළ හැක නමුත් එය ඉතා කල්පනාකාරීව කළ යුත්තකි ඔවුන්ට ජීර්ණ අපහසුතා නොවන පරිදි සුළු ප්‍රමාණයකින් යුතු ආහාර වේලක් ලබාදීම කළ හැක. කෙසේ වෙතත් මාලුවා හපත් සෞඛ්‍ය තත්වයෙන් සිටිනවා නම් ගැලපෙන ලෙස ආහාර ලබාදීම කාලසටහනක් අනුව සිදු කරනවානම් වඩාත් හොඳයි. වැදගත්ම කාරණය හැමදාම එකම දේ කෑමට නොදී ආහාර විවිධ වර්ග වලින් ලබාදීම. මාලු වර්ග ලබා දෙනවානම් ඉතා නැවුම් තත්වයේ න් ලබාදීම මගින් බොහෝ ලෙඩ රෝග වලින් ආරක්ෂා කරගැනීමට හැක. ඊළඟට ගොඩක් අය අහනවා මොනවද කන්න දෙන්න ඕන?👇


1.Hikari  sinking pellets වර්ග අද වෙළඳපොලේ ගන්න තියෙනවා

2.ජපානයේ නිෂ්පාදනය කරලා තියෙන බොහෝ sinking pellets වර්ග දෙන්නන පුළුවන්

3.අලුත් අමු හාල් මැස්සෝ

4.Live කෑමට දෙන්න අවශ්‍ය නම් තිලාපියා හොඳයි


පරිස්සම් වෙන්න ඕන මේව කෑමට දෙනවනං 👇


*. ඉස්සො, හරක් මස් හදවත, සාලය, කුකුළු මස් හැමදාම දෙන්න හොඳ දෙයක් නම් නෙවෙයි. මොකද polypterus මාළුවාගේ ශරීරයේ තියෙන එන්සයිම මෙම ලිපිඩ ජීරණය කිරීමට ප්‍රමාණවත් නැති නිසා


*මාළුවාගේ ශරීර ප්‍රමාණයට, මුඛයේ ප්‍රමාණයට ගැලපෙන ලෙස කුඩා කැබලි වශයෙන් කෑම ලබාදීම වැදගත්. එය ඔහුට ග්‍රහණය කරගැනීමටත් ජීර්ණය කර ගැනීමටත් අනෙකුත් අපහසුතාවන් මගහරවා ගැනීමටත් ප්‍රයෝජනවත්


අමු මාලු කන්න දෙනවනම් මේ කොටස්වල වටිනාකම ඔබ දන්නවාද කොරපොතු සහ අස්ථි වලින් ඛනිජ ලවණ, බඩෙන් මේදය, ෆිලට් වලින් ප්‍රෝටීන් සහ ඉනාර්ඩ් වලින් විටමින් ය.  එබැවින් සෑම කොටසක්ම වැදගත් බව මතක තබාගන්න.


කන්න දෙනවා වගේම නිසි වෙලාවට ටැංකියේ වතුර නිසි ප්රමාණය මාරු කරමින් වතුරේ ගුණාත්මක තත්වය යහපත් ව පවත්වා ගැනීම ඔබගේ සුරතල් මසුන් ගෙ වර්ධනයට ඉතාම වැදගත් බව සිහි තබා ගන්න

පොලිප්ට්‍රස් - පලමු කොටස

 



දවසක් මල්ලි කෙනෙක් මගෙන් ඇහුවා වැඩිය පීනන්න නැති මාළුවෙක්  ඔය තරම් පිස්සුවෙන් හදන්න හේතුව මොකක්ද කියලා..


පුද්ගලිකව හේතු කිහිපයක් සරල ලෙස සඳහන් කළොත් polypterus කියන්නේ දළ වශයෙන් වසර මිලියන 400 පමණ දිගු ඉතිහාසයකට නෑකම් කියන මත්ස්‍යයෙක්  ඒක මත්ස්‍යාට ලොකු වටිනාකමක් ලැබෙන්න හේතුවක්.


ප්‍රාග් ඓතිහාසික යුගයේ දී මේ මාළුවන්  ඩනෝසරයන්ගේ සමකාලීනයන් වූ අතර නයිල් ගඟේ ජීවත් වන කිඹුලන් සමග වසර දහස් ගණනාවක් නොනැසී එකට ජීවත් වීමට හැකිවූ මත්ස්‍යයෙක්.


කවුරු හරි කෙනෙක් ජීවිතය පලවෙනි පාරට දකිනකොට මේ මොන ජාතියක සතෙක් ද කියල හිතාගන්න බැරි විදියෙ පෙනුමක් තිබෙනව. උභය ජීවියෙකුගේ පෙනුමක් තමයි එකවර දකින්න ඕන කෙනෙකුට හිතෙන්නෙ.


අභ්‍යන්තර හා බාහිර ශරීරයේ පිහිටීම  මිහිතලයේ වෙනත් කිසිම මාලුවෙකුට සමාන කළ නොහැකි ලෙස සකස් වී තියෙනවා ඒක ආකර්ෂණීය හේතුවක්.


දිගු කාලයක් ජීවත් විය හැකි, ශක්තිමත් බවින් යුක්ත බැවින් විවිධ පාරිසරික වෙනස්වීම් වලට ඔරොත්තු දෙමින් අවුරුදු මිලියන ගණනාවක් තිස්සේ නොනැසී පැවත එන නිසා


මොවුන් පිළිබඳ විශාල ලෙස යුරෝපයේ රටවල සහ ජපානය වැනි රටවල් විවිධ මට්ටමේ ගවේෂණ සහ පරීක්ෂණ අඛණ්ඩව කිරීමට තරම් වටිනාකමක් මේ මත්ස්‍යයන්ට ලැබුණා. McGill university, kami hata expedition


මෙම මාළුවා ගැන බොහෝ පුරාවෘත අප්‍රිකානු රටවල් වල සමාජගත වී ඇත ඒ වගේම මෙම මත්ස්‍යයා පිළිබඳ වාර්තාමය රූපවාහිනී වැඩසටහන් ,සඟරා සහ පොත්පත් ලියැවී ඇති නිසා.


මම දන්න තරමට  කිඹුලගෙන් පස්සේ Death roll ක්‍රමයට ගොදුරු කොටස් කර ගැනීම කරන්න එකම මාලුවා මෙයා විතරයි.


එංගලන්තයේ පිහිටි ලෝකප්‍රකට කෞතුකාගාරයක් වන national history museum එකේ ඔවුන්ගේ විශාල පොසිල එකතුවක් ඇති නිසා.


අප්‍රිකානු මහද්වීපය නිජබිම කොටගත් මෙම  සත්වයා තර්ජනයට ලක්ව සිටින සතෙකු ලෙස ලෝක රතු දත්ත පොතට අන්තර්ගත කර තියෙනවා.


ශ්වසන පද්ධතිය ක්‍රියාකාරිත්වය, අභ්‍යන්තර ඉන්ද්‍රීන් ගේ පිහිටම, පිහිනන ආකාරය ගොදුරු ඩැහැ ගන්නා ආකාරය අස්ථි නිර්මාණය වී ඇති ආකාරය වැනි කාරණා අනිත් මාළු සමග කැපී පෙනෙන වෙනසක් පෙන්වන නිසා.


කොටින්ම කිව්වොත් ප්‍රාග් ඓතිහාසික ඩයිනෝසර යුගයේ ජීවත් වන සත්වයෙක් සුරතලයට ඇති කරනවා වැනි හැඟීමක් පුද්ගලිකව මට තියෙනවා.😁

Wednesday, November 3, 2021

ඔක්සිජන් - දෙවැනි කොටස

 


පෝස්ට් දැකලා තියෙනවා ඔක්සිජන් නැතුව මාළු හුරු කරන්න පුලුවන්ද කියලා😂


ඇත්තටම අහන්න ඕන air pump එකක් ටැංකියට අත්‍යවශ්‍ය ද නැද්ද කියලා.


 අහන කෙනා නොදන්නකමට ඒ විදියට ඇහුවත් කමෙන්ට් කරන බහුතර දෙනා දිහා බැලුවම තේරෙන්නේ ඒගොල්ලෝ මේක හරිහැටි දන්නේ නැහැ කියලයි.


මෙම ලිපියේ ඉතා සරලව කරපු විග්‍රහයක් මගින් ඔබට කිසියම් අවබෝධයක් ලබාගන්න පුළුවන් වේවි


සමහර මසුන් ජලය මතුපිටට ඇවිල්ලා බාහිර වාතය ආශ්වාස කරනවා දකින්න පුළුවන් නමුත් බොහෝ වර්ග වල මාළු එහෙම කරන්නේ නැහැ ඒ මසුන් ජලයේ දියවී ඇති ඔක්සිජන් ඔවුන්ගේ කර මල් හරහා තමයි පෙරා ගන්නෙ. සමහර මසුන් ජීවිතේ යම් කාලයක් පමණක් (පෙනහළු වැඩෙන තෙක්) ජලයේ දිය වූ ඔක්සිජන් වාතය ස්වසන ක්‍රියාවලිය සඳහා ප්‍රයෝජනයට ගන්නවා. සමහර මාළුන්ට අඩු ඔක්සිජන් සාන්ද්‍රණයක් සහිත ජලයේ ජීවත් වෙන්න හැකියාව තියෙනවා.


මින් මැදුරක ජීවත්වන මසුන්ගේ ආශ්වාස ප්‍රාශ්වාස ක්‍රියාවලිය ගැනන කතා කරනකොට යම් විශේෂ කරුණු කිහිපයක් ගැන අපගේ අවධානය යොමු කරන්න ඕන. කොටින්ම කියනවනං ඔක්සිජන් කියන දේ මාළුන්ට අත්‍යවශ්‍ය දෙයක් ඒ හුස්ම ගන්න විතරක්ම නෙවෙයි කියන කාරණය


👉ෆිල්ටර් පද්ධතිය සහ ජලයේ ගුණාත්මක බව


ජලයේ ගුණාත්මක බව ඉහල මට්ටමක තබා ගැනීම ජලයේ වැඩි ඔක්සිජන් ප්‍රමාණයක් රඳවා තබා ගැනීමට හේතුවක් වෙනවා.ෆිල්ටර් සිස්ටම් එකක් නොමැතිව තියෙන ටැංකියක ජලය අපිරිසිදු වුනොත් ජල ස්ථරය මත තෙල් තට්ටුවක් හෝ අම්ල තට්ටුවක් ලෙස යම් ස්ථරයක්(Biofilms)ගොඩනැගෙනවා සමහරවිට ඔබල දැකලා ඇති. මේ ස්ථරය මගින් අවකාශයේ ඇති වාතය ජලය සමග ගැටීමේ අවස්ථාවට මග හරවනවා එමගින් ජලයට ඔක්සිජන් එකතු වීම වළක්වනව. අඛණ්ඩ ඔක්සිජන් සැපයුමක් මගින් මින් මැදුර තුළ ඇති හිතකර බැක්ටීරියාවන්ට අපද්‍රව්‍ය බිඳ හෙලා නයිට්‍රජන් චක්‍රය ස්ථාවරව පවත්වා ගැනීමට සෘජු බලපෑමක් කරනවා. මින් මැදුර තුළ ඇති ජලය නිරෝගී ගුණාත්මක මට්ටමක තියෙනවා කියන්න හොඳ ඔක්ෂිජන් සාධාරණයක් තියනවා කියන එක. ඔක්සිජන් ජලයේ ගුණාත්මක බව රැක ගැනීමට සෘජු සාධකයක් වනවා.


👉මසුන් ප්‍රමාණය


 කෙතරම් හොඳ පෙරහන් පද්ධතියක් තිබුණත් අනවශ්‍ය ලෙස මින්මැදුර තුළ මසුන් විශාල ප්‍රමාණයක් තබා ගැනීමෙන් ජලයේ දිය වූ ඔක්සිජන් වාතය ඉතා ඉක්මණින් අඩුවෙලා යනවා. ඒක නිසා අනවශ්‍ය ලෙස ආස කරන හැම මාළුවා ම ටැංකියට දාගන්න එපා. 


එහෙම අවශ්‍යතාවක් තියෙනවා නම් විශාල ජල ධාරිතාවක් සහිත මින් මැදුරක් නිර්මාණය කර ගැනීම වැදගත් විශාල ජල ධාරිතාවක් තියෙනවා කියන්නේ විශාල ඔක්සිජන් ප්‍රමාණයක් ඒ ජලයේ දිය වෙලා තියෙනවා කියන එක. දිගින් වැඩි පළලෙන් අඩු ටැංකියක් නිර්මාණය කරනවට වඩා ජලයේ පෘෂ්ඨිය වර්ගඵලය වැඩි වන ලෙස වැඩි පළලකින් යුතු ටැංකියක් නිර්මාණය කිරීම වැඩි ඔක්සිජන් ප්‍රමාණයක් බාහිරින් ටැංකිය තුලට ලබාගැනීමට අවකාශ සැලසෙනවා.


😜 අපි නම් ඔක්සිජන් දෙන්නෙ නැතුව පුරුදු කරලා තියෙන්නේ අපේ ටැංකිවල ෆිල්ටරුත් නැහැ 


ජලයේ දියවී ඇති ඔක්සිජන් මසුන් විසින් අඛණ්ඩව පරිභෝජනය කරනවා අපිට ඒක පාලනය කරන්න බැහැ මසුන්ට ඒ පාලනය කරන්නත් බැහැ. ජලයේ දියවී ඇති ඔක්සිජන් අවසන් වන තෙක් පමණයි මසුන්ට ජීවත්වෙන්න පුළුවන් එහෙම නැතුව ඔක්සිජන් සැපයුමක් නොදී පුරුදු කර ගන්නවා කියන කතාව හාස්‍යජනක මිත්‍යාවක් විතරයි. මේවා සාමාන්‍ය දැනුම 😁


👉 ඔක්සිජන්, ආහාර ජීර්ණය සහ වර්ධනය අතර සම්බන්ධතාවය


හොඳ ඔක්සිජන් සැපයුමක් තිබුනොත් මසුන්ට ඉතා ඉක්මනින් ආහාර ජීර්ණය කිරීමේ පහසුව සැලසෙනවා. අඩු ඔක්සිජන් සාන්ද්‍රණයක් සහිත පරිසරයක ජීවත්වන මසුන්ගේ ආහාර දිරවීමේ හැකියාව ඉතා සෙමෙන් සිදු වන්නේ. මේ ආහාර දිරවීමේ මන්දගාමී බව නිසා ලබාගත් ආහාර ආමාශය තුළ පල්වී මසුන්ට විවිධ රෝගාබාධ වලට ගොදුරු වීමේ අවදානමක් ඇති කරනවා. මෙයින් පේනවා ඔක්සිජන් මසුන්ගෙ වරදනයට සෘජුව බලපාන සාධකයක් බව.


👉 ජලයේ උෂ්ණත්වය සහ ඔක්සිජන් මට්ටම අතර සම්බන්ධතාවය


 ජලයේ උෂ්ණත්වය වැඩි වෙනවා කියලා කියන්නේ ජලයේ දියවෙලා තියෙන ඔක්සිජන් ප්‍රමාණය අඩු වෙනවා කියන එක. මෙම නිසා ඉර එළිය වැටෙන තැනක තියෙන දැන් කියපු හෝ හීටරයක් දාලා තියෙන අවස්ථාවක ඔක්සිජන් සැපයුමක් ලබා දීම ඉතා වැදගත්


👉 ඇල්ගී සහ බැක්ටීරියා ඔක්සිජන් වරට කරන බලපෑම


නයිට්‍රජන් චක්‍රය ක්‍රියාත්මක නොවූ ටැංකියක සතිපතා දිනපතා කළ යුතු සුළු සුළු නඩත්තු කටයුතු සිදු නොවන අවස්ථාවන් වල පමණට වඩා අධික ලෙස ඇල්ගී සහ බැක්ටීරියා වර්ධනය වීම සිදු වෙනවා මේ බැක්ටීරියා සහ ඇල්ගී ඉතා විශාල ලෙස ඔක්සිජන් පරිභෝජනය කිරීම නිසා ජලයෙ දියවී ඇති ඔක්සිජන් ප්‍රමාණය පහත කිරීමට හේතුවක් වනු ඇත.


👉 ජලජ ශාක සහ ඔක්සිජන් මට්ටම අතර සම්බන්ධය


දිවා කාලයේදී ආලෝකය ඇති විට ඉතා විශාල වශයෙන් ජලජ ශාක ජලයට ඔක්සිජන් එකතු කිරීමක් සිදු වුණත් ආලෝකය නොමැති රාත්‍රී කාලයේ දී හෝ අලුයම් කාලයේ දී  ජලජ ශාක ජලයේ දියවී ඇති ඔක්සිජන් විශාල ලෙස පරිභෝජනය කරන නිසා මසුන්ට අවශ්‍ය ඔක්සිජන් අඩුවීමේ අවධානමක් පවතිනවා. ඒක නිසා පුළුවන් තරම් ටැංකිවලට ගස් දාන්න කියලා නම් කියන්න එපා 😁


👉කවුද වැඩිපුර ඔක්සිජන් පරිභෝජනය කරන්නේ


සමහර මසුන් වර්ග ඉතා විශාල ලෙස ජලයේ දිය වී ඇති ඔක්සිජන් පරිභෝජනය කරනවා. විශේෂයෙන්ම විශාල මසුන් කුඩා මසුන්ට සාපේක්ෂව විශාල ලෙස ඔක්සිජන් පරිභෝජනය කරනවා ඒ වගේම තමයි සෙමෙන් පිහිනන මාළුන්ට වඩා ජලයේ වේගයෙන් පිහිනන මසුන්මට විශාල ලෙස ඔක්සිජන් අවශ්‍ය කරනවා


😞කොහොමද නිවැරදි මට්ටමට ඔක්සිජන් ටැංකියේ නැහැ කියලා අදුරගන්නේ


ඔක්සිජන් අඩු වන අවස්ථාවලදී මසුන් ජලයේ මතුපිටට පැමිණිලා මුව විවර කරමින් ආශ්වාස කරන්න උත්සාහ ගන්නවා දකින්න පුළුවන් තවද මසුන් ඉක්මනින් ඉක්මනින් ආශ්වාස ප්‍රාශ්වාස කිරීම, ක්‍රියාශීලී බව අඩුවීම සහ කෑමට ඇති රුචිය අඩු වී යාම දකින්න පුළුවන්. හයිඩ්‍රජන් සල්ෆයිඩ් විෂ වීම නිසාත් මේ විදියේ හැසිරීම දකින්න පුළුවන් එම නිසා හරියාකාරව අවබෝධයෙන් වැඩ කරන්න.


😞 ජලයේ ඔක්සිජන් සාන්ද්‍රණය ඉතා ඉහල ගියොත් මොකද වෙන්නෙ(hyperoxygenated)


අවධාරණයෙන්ම මතක තියාගන්න ඕන කාරණයක් තියනවා ටැංකියේ ඔක්සිජන් ප්‍රමාණය වැඩිවීමත් මසුන්ට ඉතා අහිතකරයි එමගින් මසුන්ට gas bubble disease රෝගය වැළඳීමට හේතුවක් වේවි. ඒ වගේම අධික ඔක්සිජන් සාන්ද්‍රණයක් තිබීම මාළු විශාල ලෙස ආතතියට පත් වෙනවා මෙහිදී කෝටිසෝල් නැමැති stress හෝමෝනය අධික ලෙස ශ්‍රාවය වීමෙන් මසුන් මරණයට පවා පත්විය හැකියි.


👉ඔක්සිජන් සහ ඖෂධ


සමහර ඖෂධ වල ඇති රසායනික ගුණය නිසා ජලයේ ඇති ඔක්සිජන් මට්ටම පහළ යාම සිදුවෙන්න පුළුවන්. එම නිසා එවැනි ඖෂධ යොදා ගන්නවා නම් උපදෙස් පත්‍රිකාවට අනුව යොදා ගැනීම වැදගත්. එවැනි අවස්ථාවල පිටතින් ඔක්සිජන් සැපයුමක් ලබා දීම අනිවාර්යයි.


👉 ලුණු මින් මැදුරු ජලයට එකතු කිරීම සහ ඔක්සිජන් මට්ටම අතර සම්බන්ධය


ජලයේ ලවණ ගතිය වැඩිවීමෙන් ජලයේ දිය වී ඇති ඔක්සිජන් සාන්ද්‍රණය පහල යෑමක් සිදු වෙනවා. එම නිසා ලුණු භාවිතා කිරීමේදී වැඩි සැලකිල්ලක් දැක්විය යුතුයි


🤲කොහොමද ටැංකියට ඔක්සිජන් එකතු කරන්නේ


👍ටැංකිය තුල ජලය අඛණ්ඩව ගලා යාමට සැලැස්වීම මගින් ටැංකියේ ජලය සෙලවීමට සැළැස්වීම හරහා බාහිර ඇති ඔක්සිජන් වාතය ටැංකියේ ජලය සමඟ මිශ්‍ර කිරීමට උදව්වක් වනු ඇත


👍යම්කිසි උස මට්ටමක සිට ටැංකියේ ජල ස්ථරයට වතුර වැටීමට සැලැස්වීමෙන් ජලයේ ඔක්සිජන් මිශ්‍ර කිරීමට උදව් වෙනවා


👍HBO filter,Air pump, spray bar,trickle filters. භාවිතය ගැන අපි කවුරුත් දන්න නිසා ඒ ගැන කියන්න යන්නෙ නැහැ


👍හදිසි අවස්ථාවන්වලදී ජලයේ උෂ්ණත්වය ඉහළ ගිය විට ඇතිවූ ඔක්සිජන් මදිකම මඟහරවා ගැනීමට අයිස් කැට බහාලන ලද බෑගයක් ටැංකිය තුළට දමීම තාවකාලික තරමක් සාර්ථක ක්‍රමයක්. උෂ්ණත්ව වෙනස්වීම් ක්ෂණිකව සිදු නොවන ලෙස මේ කළ යුතුයි එසේ නොමැති නම් මාළු විශාල ලෙස ආතතියට පත් වෙන්න හේතුවක් වේවි.


👍විශාල වතුර ප්‍රමාණයක් අලුතින් එකතු කිරීමෙන් ජලයේ දියවූ ඔක්සිජන් විශාල ප්‍රමාණයක් එකතු කිරීමට අවස්ථාව සැලසෙනවා.


👍විදුලිය විසන්ධි වූ අවස්ථාවලදී Battery air pump භාවිතා කිරීමත් සාර්ථක ක්‍රමවේදයක් ලෙස දකින්න පුළුවන්.


👍 කිසිම විටක විදුලිය විසන්ධි වූ අවස්ථාවක මසුන්ට ආහාර ලබාදීම සුදුසු නැහැ මේ අවස්ථාවේ දී පෙරහන් පද්ධතිය සහ ඔක්සිජන් සැපයීම දෙකම අඩාල වෙනවා. මෙවැනි අවස්ථාවල ප්‍රමාණවත් ඔක්සිජන් නොමැතිව ලබාගත් ආහාර ජීර්ණය කිරීමට මසුන්ට නොහැකි වී යනවා. එහෙමත් නැත්නම් මන්දගාමී වෙනවා. නැවත පෙරහන් පද්ධතිය සහ ඔක්සිජන් සැපයුම ක්‍රියාත්මක වූ පසු අවම වශයෙන් පැයක පමණ කාලයක්වත් ගත වූ පසු ආහාර ලබාදීම සුදුසුයි

Thursday, September 16, 2021

පණු බෙහෙත් (Deworming) දෙවැනි කොටස


ශරීර ස්කන්ධය විශාල, විශාල ජල ධාරිතාවක ජීවත් වන මසුන්ට ජලයේ දියවන පණු බෙහෙත් දීම ඉතා අපහසු කාර්යයක්. එවැනි අවස්ථාවල කෑම සමඟ මිශ්‍රකර මේ බෙහෙත් ලබාදීම කරන්න පුළුවන්.අසා තියෙනව ඩොන්ටාල් ප්ලස් සාර්ථක ලෙස මසුන් සඳහා deworming සඳහා යොදා ගත් අවස්ථා.


සැ.යු 

මසුන්ගේ මලපහ නියැදි පරීක්ෂණාගාරයක පරික්ෂා කිරීමෙන් අනතුරුව විතරයි හරියටම කියන්න පුළුවන් කුමන ආකාරයේ පණුවන් නිසා ආසාදන තත්ත්වයක් ඇති වෙලා තියෙනවද කියලා. සාර්ථක ක්‍රමයක් නොවුනත් මලපහ වල වර්ණය අනුව මේ ගැන යම්කිසි මට්ටමක නිගමනයකට පැමිණිය හැකි බව බොහෝ දෙනාගේ මතයයි. කෙසේ වෙතත් මසුන් සදහාම නිෂ්පාදනය කල බෙහෙත් යොදා ගැනීම ආරක්ෂිත බව අපි හැමෝම දන්නවා. එමගින් නිවැරදි මාත්‍රාව ලබා දීමට සහ අතුරු ප්‍රතිඵල අවම කරගැනීමට හේතුවක් වේවි. සාමාන්‍යයෙන් 90%ක පණු ආසාදන සහ අභ්‍යන්තර බැක්ටීරියා සහ පරපෝෂිත ආසාදන සඳහා ආවරණයක් ලබා ගැනීමට පහත සඳහන් ඖෂධයන් අන්තර්ගත ඖෂධ ලබාදිය හැක. 


praziquantel

metronidazole 

levamisole

albendazole

Fenbendazole

mebendazole



මේ එකිනෙකට වෙනස් ඖෂධ වර්ග වලින් විනාශ වන්නේ එකිනෙකට වෙනස් පණු වර්ග, අභ්‍යන්තර බැක්ටීරියා හා පරපෝෂිතයන් වන නිසා එක් වර්ගයක් පමණක් භාවිතා කිරීමෙන් සාර්ථක ප්‍රතිඵල ලබාගන්න බැහැ. එහෙම සාර්ථක ප්‍රතිඵලයක් ගන්න නම් හරියටම දැනගෙන ඉන්න වෙනවා වැළඳිලා තියෙන්නේ මොන පණු රෝගය ද කියලා. නැත්නම් ඉතින් ඔය ඉහත සඳහන් කරපු බෙහෙත් වර්ග වතාවන් කිහිපයකදී ප්‍රතිකාර සඳහා ප්‍රයෝජනයට  ගන්න සිද්ධ වෙනවා.

මසුන්ගෙ පෝෂණය.

 


අවාසනාවකට ලංකාවේ තවමත් මසුන්ගෙ පෝෂණය පිළිබඳ ඉතාම අඩු සැලකිල්ලක් දක්වන රටක් විදියට තවමත් දකින්න පුළුවන්. මීට හේතුවක් විදියට ඉතා සීමිත වූ සන්නාම කීපයකට පමණක් මිනිසුන් පුරුදු වෙලා සිටීම සහ මුදල් ප්‍රශ්න, සමහර මත්ස්‍ය ආහාර වල අධික මිල මේකට හේතුවක් වෙන්න පුළුවන්


ඔබ දන්නවද මාලු කෑම නිෂ්පාදන ආයතන විවිධ වර්ගවලින් විවිධ මසුන් සඳහා විවිධ කෑම නිෂ්පාදනය කරන්නේ ඇයි කියලා. ඒකට හේතුව දැනගන්න කලින් අපි බලමු ඇයි මසුන්ගේ පෝෂණය මෙතරම් වැදගත් කියලා


මාළුවෙක් මියයන්න ප්‍රධානම හේතු තමයි නිවැරදි පෝෂණයක් නොමැති කම, හොඳ පෙරහන් පද්ධතියක් නොමැති බව සහ වතුර ගුණාත්මකබව මදිකම නොසැලකිල්ල සහ නිවැරදි බෙහෙත් භාවිතා නොකිරීම දකින්න පුළුවන්. මම මේක ලියන්න බලාපොරොත්තු වෙන්නේ විනෝදාංශයක් විදිහට මසුන් ඇති කරන අය සඳහා පමණයි මොකද වාණිජ පරමාර්ථයෙන් මසුන් ලොකු කර විකිනීම සහ බෝකර විකිණීම වගේ අවස්ථාවල ලබා දෙන කෑම විනෝදාංශයක් විදියට ඇතිකරන මසුන් සඳහා බොහෝවිට යෝග්‍ය නැහැ. විනෝදාංශයක් විදියට ඇති කරන්න අපි තමයි මේ ආදරණීය සුරතලුන් මැරෙන තුරු අපි ළඟ තබාගන්නේ.


මසුන්ගේ පෝෂණය ඉතා වැදගත් කාරණයක් බවට දැන් ඔබට පැහැදිලි ඇති. ඇයි අපි මසුන්ට ආහාර ලබා දෙන්නේ කෙනකුට මේක කුස පිරවීමට කියලා හිතනවා ඇති තවත් කෙනෙකුට පෝෂණය ලබාදීමට කියලා හිතෙනවා ඇති. හරි ඔය කාරණා දෙකම වැදගත් තමයි නමුත් ආහාර ගැනීමෙහි ප්‍රධාන පරමාර්ථය වන්නේ ශක්තිය ලබාදීම නිවැරදි වර්ධනය සහ ලෙඩ රෝග වලින් ආරක්ෂා වීමට අවශ්‍ය ප්‍රතිශක්තිය ගොඩනැගීම යන කාරණා දක්වන්න පුළුවන්.


විවිධ ආයතන විවිධ වර්ග වල මසුන්ට එහි විවිධ කෑම හදල තියෙන්නෙ හේතුවක් ඇතිවයි කොරපොතු තියන මාළු ,කොරපොතු නැති මාළු, වැඩිය ඇක්ටිව් නැති මාළු, වැඩි ක්‍රියාශීලිත්වය දක්වන මාළු, සඳහා ලැබිය යුතු පෝෂණ මට්ටම වෙනස් මේවා නිවැරදිව නොලැබුණොත් මසුන්ට දීර්ඝ කාලයක් ජීවත් වීමට නොහැකි වෙනවා මීට අමතරව ශාක භක්ෂක සර්ව භක්ෂක සහ මාංශ භක්ෂක සතුන්ට ඕනේ කරන පෝෂණය ගැන කතා කරද්දි වුණත් විවිධ වයස් මට්ටම් වලදී ලබා දිය යුතු ආහාර ප්‍රමාණය සහ පෝෂණ මට්ටම් අඩු වැඩි වෙනවා. මම මේකෙන් අදහස් කරන්නේ නැහැ මාළුන්ට කෑම එකක් තෝරනකොට පෝෂණ වේදියෙක් වගේ හිතන්න ඕන කියලා අඩුම තරමේ ඒ ඒ මසුන් වර්ග වලට පමණක් හදලා තියෙන විශේෂිත වූ කෑම වර්ග පාවිච්චි කරොත් අපට ලොකු ප්‍රතිලාභ ලබා ගන්න පුළුවන්. එමගින් විටමින් ඌනතා ප්‍රෝටීන් ඌනතා කැල්සියම් ඌනතා ලවණ ඌණතා වගේ දේවල් මගහරවා ගන්න පුළුවන් වේවි.


සමහර අය අතර මතයක් තියෙනවා වැඩි ප්‍රෝටීන් සහිත ආහාර තමයි හොඳ කියල මතක තබා ගන්න high protein කියන්නේ බොහොම පරිස්සමෙන් තෝරගන්න ඕන දෙයක් අනවශ්‍ය ලෙස ප්‍රෝටීන් ,තන්තු සහ මේදය ලබා දීම සමහර මසුන් වර්ග වලට ඉතා අහිතකර වෙනවා.


මසුන් වෙනුවෙන් ගෙදර හදාගන්න කෑම එකක් නම් විශේෂයෙන්ම විටමින් වර්ග එකතු කරද්දී බොහෝ පරිස්සම් වෙන්න අවශ්‍යයි මොකද සමහර විටමින් වර්ග වාතයට හිරු එළියට තද සීතලට නිරාවරණය වෙච්ච ගමන් එහි කාර්යක්ශම බව අඩු වෙනවා පමණක් නෙවෙයි සමහර විටමින් වර්ග මසුන්ට විශ වෙනවා. 


මසුන්ගේ කෑම ගැන කතා කරද්දි පෙලට් වල හැඩය ඉතා වැදගත් මනුෂ්‍යයන් වන අපට වගේ මාළුන්ට අතින් අරන් කටට කෑම දාගන්න හැකියාවක් නැහැ.නිරීක්ෂණය කරොත් ඔබට පේනවා ඇති විවිධ මසුන්ගෙ ඔලුවේ හැඩය වෙනස් මුඛයේ හැඩය වෙනස් මුඛය පිහිටා ඇති ස්ථානය වෙනස් බව ඉතින් ඒකට ගැලපෙන විදියට තමයි මාලු කෑම වර්ග නිර්මාණය කරලා තියෙන්නේ හරියට පිගානකට දාලා කිරි එකක් අපට බොන්න බැහැ බල්ලෙකුට කෝප්පෙකට දැම්මට කිරි එක බොන්න බැහැ ඒ වගේ තමයි.


ලස්සන කවරයක් සමඟ කෑම එකක් දුටු පමණින් මේක හොඳයි කියලා කියන්න අපි කාටවත් බැහැ මේ ගැන අදහසක් අපට ගන්න පුලුවන් ක්‍රම කිහිපයක් තියෙනවා අන්තර්ජාලයෙන් විපරම් කරල බලන්න පුළුවන් මේ කෑම වර්ග රටවල් කීයක මිනිස්සු පාවිච්චි කරනවද ඒගොල්ලො මොනවද ඒ ගැන කියලා තියෙන්නේ කියලා ලෝකය පුරාම විසිරී සිටින විනෝදාංශයක් ලෙස මසුන් ඇතිකරන්නන් ගේ අදහස් ඉතා වටිනවා, සාමාන්‍යයෙන් හොඳ පෙලට් වර්ගයක වෙස්ට් එක අඩුයි. සාමාන්‍යයෙන් කෑම එක නැවුම්ව තිබුණෙ නැත්තං බොහෝවිට මාලු කෑම එක ප්‍රතික්ෂේප කරනවා. නමුත් බඩගින්නෙ  ටැංකියකට වෙලා ඉන්න මාලුවෙකුට අපි දෙන දෙයක් කනවා ඇරෙන්න විකල්පයක් නැහැ.


පෙලට් එක වතුරට දැම්මට පස්සේ ඒක පෙඟිල දියවෙලා යන්න ගතවන කාලය වැදගත් සමහර මාළු කෙලින්ම ගිලිනවා සමහර මාළු හපල කනව කෙලින්ම ගිලින මාළු අසාමාන්‍ය ලෙස ආහාර ගැනීම බොහෝ විට සිදු කරනවා අන්තිමට මේ ගිල දැමූ පෙලට් බඩ තුළ ප්‍රසාරණය වීමට ඉඩක් නොමැති වුණොත් අනිවාර්යයෙන්ම ජීරන අසීරුතා නිසා මියයන වුණත් පුළුවන්. මේ තත්ත්වය තවත් භයානක වන්නේ pellets සහ මාංශමය ආහාර යන දෙවර්ගයේම එකවිට ලබාදුන්විට ඕවර් ෆීඩ් වුනොත් ජීරණය වීමට වැඩි කාලයක් ගත වෙනවා එවිට අර ආහාරයට ගත් මාංශමය කොටස් ඉතා ඉක්මනින් පල වීමකට ලක් වෙලා විවිධ ආසාදනවලට ගොදුරු වෙන්නත් පුළුවන්.


ඔබ දැනටමත් දන්නවා ශාක ප්‍රෝටීන් සහ සත්ව ප්‍රෝටීන් කියලා කොටස් දෙකක් තියන බව ගොඩක් බාල තත්වයේ මත්ස්‍ය ආහාර වලට බහුලව යොදා ගන්නේ ශාක ප්‍රෝටීන එයට හේතුව ඉතා අඩු මිලට සුලබව ලබා ගන්න පුළුවන් කම නිසායි. ඉතින් මේ ශාක ප්‍රෝටීන් ලබා ගැනීමට යොදා ගන්නා ශාකමය අමුද්‍රව්‍ය වල ඇති ප්‍රෝටීන් නිසා වැඩි වෙස්ට් එකක් ටැංකියේ දකින්න පුළුවන් වගේම දිරවීමේ අපහසුතා මොන්ස්ටර් වර්ගයේ මසුන්ට ඇති වෙන්න පුළුවන්. 


Colour enhance දීර්ඝකාලීනව ආහාරයට දීම ඉතා නුසුදුසු දෙයක් මෙමඟින් මසුන්ට මාරාන්තික සංකූලතා ඇතිවන බව පැවසෙනවා.


පෙලට් වර්ග විශේෂයෙන් ම විවෘත කිරීමෙන් පසු කල් ඉකුත්වීමේ දිනය කුමක් වුවත් විවෘත කළ දිනයේ සිට කල් ඉකුත් වීම තමයි සිද්ධවෙන්නේ ඒක නිසා නිවැරදි විදියට ඇසුරුම් ගත කරලා ශීතකරණයක තැබීම හොඳයි කියන කාරණය බොහෝ දෙනා පවසනවා. බෙහෙත් වර්ග නම් උපදෙස් පත්‍රිකාවේ නිර්දේශ කොට ඇති පරිදි හෝ කාමර උෂ්ණත්වයේ තැබීම අනිවාර්යයි.


එසේ නිවැරැදි ලෙස අසුරා නොතැබූ පෙලට් වර්ග වල සැල්මොනෙල්ලා බැක්ටීරියා, ඇෆලටොක්සින් වැනි මාරාන්තික පුස් වර්ග හටගන්නවා මේ මාරාන්තික මයකටොක්සීන් වරග නිසා මසුන්ට මරණය,අක්මාව දුර්වල කිරීම, ප්‍රජනන හැකියාව නැති කිරීම, ලිංගික දුර්වලතා අනිවාර්යෙන්ම සිදුවෙනවා.


යුරෝපීය රටවල විශේෂයෙන්ම ජපානය වැනි රටවල මෙවැනි කල් ඉකුත් වීමට ආසන්න සත්ව ආහාර කල් ඉකුත් වීමට පෙර නොමිලේ බෙදාදීම සිදු කරනවා ඒ රටවල් වල ජීවත් වන මිනිසුන් මේ ගැන හොඳින් දන්නවා ඇති. මොකද මේ කල් ඉකුත් වූ දේවල් විනාශ කිරීමට ඔවුන්ට විශාල පිරිවැයක් දරන්න සිද්ද වෙන නිසා. කල්ඉකුත් වුවහොත් හිතුමතේ ගිනි ගොඩක් ගහලා වත් ජලාශයකට වත් විසි කරන්න ඔවුන්ට නීතියෙන් ඉඩක් නැහැ😃


විවිධ රටවල් වල කූට වෙළඳුන් මේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්නවා මේ වගේ තැන්වලින් හෝ කර්මාන්තශාලාවලින් ඉවත් කරන්න කෑම තොග වශයෙන් තම රටවල් වලට රැගෙන ඇවිල්ලා නැවත ඇසුරුම් ගත කරනවා. මේවා අඩු මුදලට සොයාදෙන්න තැරැව්කරුවන් මාෆියාවක් විදියට ක්‍රියාත්මක වෙනවා.


 ඔබ හිතනවා ඇති ඇසුරුම් ගත කිරීමට ඇසුරුම් කොහෙන්ද කියා. ලෝකයේ ප්‍රසිද්ධ යැයි පවසන සන්නාම වලින් යුත් කෑම වල  ඕනෑම ඇසුරුම් වර්ගයක් තොග පිටින් ලබා ගැනීමේ හැකියාව පවතින බව ඔබ දන්නවාද. බදු මුදල් අඩුවෙන් ගෙවා සත්ව කෑම රේගුවෙන් නිදහස් කර ගැනීමට කූට වෙළඳුන් කරන උපක්‍රමයක් තමයි ඉතා විශාල ගෝනි ලෙස මිලදී ගන්නා මේ සත්ව කෑම  ගෙනැවිල්ලා එම ආයතනය විසින්ම ලබා දෙන හිස් ඇසුරුම් තොග මෙරටදී ඇසුරුම් ගත කොට නයිට්‍රජන් වායුව පුරවා විකිණීම සිදුකෙරෙනවා.මසුන්ගේ ආහාර පමණක් නොව අනිත් සත්ව ආහාර වලට සිදුවන්නෙත් මේකම තමයි. මීට අමතරව fake product කෙලින්ම ගැන්වීමත් ජයටම සිදු වන කාරණයක්.මේ දේවල් මට අනාවරණය කරගැනීමට පුළුවන් වුණේ ශ්‍රී ලංකා රේගුව සහ NAQDA ආතනය නිළධාරින් දෙපලක් සමග සිදුකළ සාකච්ඡාවකින් පසුවයි.ඒක නිසා තමන්ට අවශ්‍ය දේවල් පරික්ෂා කිරීම කින් ලබා ගැනීම වැදගත්. ස්තුතියි !!!

Polypterus ආධුනිකයන් සඳහා

  ආධුනිකයන් සඳහා 👇 ඇයි මිනිසුන් විසින් අභිජනනය කරන ලද ඇතැම් polypterus මාළුන්ගේ වර්ගය හරියටම අදුරගන්න බැරි වෙලා තියෙන්නෙ.  1. සමහර මාළුන්ගෙ...